brand logo

සාරි ඇඳන් බල්ටි ගහන ෂෙනුකි

27 February 2021

‘‘වෙළෙඳ දැන්වීමක සාරියක් දාගෙන කරණම් ගහන යුවතියත් ගැන මේ දවස්වල හැමෝම කතා කරනවා. සමහරු කතා කරලා මේ කවුද කියලා අහනවා. සාරි ඇඳගෙන බල්ටි ගහන එක ලේසි නැති නිසා අපිත් සොයා බැලුවා මේ කවුද කියලා.’’ කවුද ඔබ? මම ෂෙනුකි දිශල්‍යා ඔබව හඳුන්වා දෙන්න කැමැති කොහොමද? මම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. ඒ වගේම මෝස්තර නිරූපිකාවක්. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් හැටියටත් කටයුතු කරනවා. අනාගතයේ නිළියක් වෙන්න කැමැතියි. කොහොමද මේ ගමන පටන් ගන්නේ? මම මුලින්ම ඉගෙන ගත්තේ පන්නිපිටිය ලුවර් කොලේජ් එකේ. ඊට පස්සේ බිෂොප් කොලේජ් එකට ගියා. අවුරුදු හයේ ඉඳන්ම මට ඕන වුණේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වෙන්න. ඇයි ජිම්නාස්ටික්වලට කැමැත්තක් ආවේ? මම හිතන්නේ ඒක මගේ ඇඟේම තිබුණා කියලා. ගෙදර ඉන්නකොටත් උඩ පනිනවා. කකුල් උස්සනවා. මාව බේරගන්න අම්මි මාව ට්‍රේනින්වලට දැම්මා. පුංචි වයසේ බයක් දැනුණේ නැද්ද? නැහැ. මට තිබුණේ කොහොමහරි ජාත්‍යන්තර ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වෙනවා කියන අරමුණ විතරයි. උත්සාහය සාර්ථක වුණාද? සාර්ථක කර ගත්තා. කැපවීමෙන් පුහුණුවීම් කරලා අවුරුදු 15ක් වෙනකොට ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත් වුණා. ලබාගත් ජයග්‍රහණ මොනවද? කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරලා හතර වැනි ස්ථානය ලබා ගත්තා. තායිලන්තයේ ආසියානු ශූරතාවට එකකටත් සහභාගි වුණා. එතනින් පස්සේ ඩයිවින් සහ කවරලිෆ්මන් පටන්ගත්තා. ජිම්නාස්ටික් සහ ඩයිවින් ජාතික ශූරිය දක්වා ඉහළට එන්න හැකියාව ලැබුණා. ඇයි කලාවට යොමුවෙන්නේ? තාත්තා අනුෂ සංජීව ස්වර්ණවාහිනියේ වැඩ කළේ. කලම්බෝ කියන චිත්‍රපටය කළේ තාත්තා. ගෙදර කලාව ගැන නිතරම කතා කරනවා. තාත්තාගේ චිත්‍රපටයේ රඟපාන්නෙ නැද්ද? නැහැ. ඉදිරි නිර්මාණවලදී සම්බන්ධ වෙන්න කතා බහ කරනවා. මුල්ම නිර්මාණය මොකක්ද? වෙළෙඳ දැන්වීම් කිහිපයකට තමයි මුලින්ම දායක වෙන්නේ. එතනිනුත් අන්තිමට කරපු කරණම් ගහන ඇඩ් එක නිසා තමා බොහෝ දෙනා අතර කතා බහ කරන මාතෘකාවක් වුණේ. ඇයි මේ ගැන මෙච්චර කතා කළේ? සාරියක් ඇඳගෙන ‘බල්ටි’ ගහන්නයි තිබ්බේ. මුලින්ම ඔඩිෂන් එකට කතා කළා. මම කොහොමත් අභියෝගාත්මක දේවල්වලට කැමැතියි. නිළියක් වුණත් මම රඟපාන්නේ ක්‍රියාදාම චරිත තමයි. සාරි ඇඳගෙන බල්ටි ගහන්න පුළුවන්ද? ජිම්නාස්ටික් කරලා තියෙන නිසා වැඩේ පුළුවන් වෙයි කියලා හිතුණා. නමුත් ඔය වෙන කොට කොවිඩ් ප්‍රශ්නෙ නිසා මම පුහුණුවීම් නතර කරලා අවුරුද්දක් විතර වෙලා තිබුණේ. ඉතින් කොහොමද කළේ? ඇඳගෙන ඉන්නේ සාරියක් කියලා හිතුවේ නැහැ. තවත් ජිම්නාස්ටික් ඉවෙන්ට් එකක් කියලා හිතලා කළා. කී සැරයක් කළාද? ඔඩිෂන් එකේ එක්වරයි. ඊට පස්සේ දෙපාරයි. හිතුවට වඩා ඉක්මනට වැඩේ කළා. අවදානමක් නැද්ද? ඇයි නැත්තෙ ජිම්නාස්ටික් කරනකොට ආරක්ෂාවක් තියෙනවා. නමුත් මේක කළේ රෆ් පොළොවක. අනික සාමාන්‍ය තණකොළ ග්‍රවුන්ඩ් එකක ඉන්ෂුවරන්ස් එකක් නැති නිසා ලොකු අවදානමක් තිබුණා. ඇයි එහෙම අවදානමක් අරගත්තේ? අවදානමක් ගන්නේ නැතුව සාර්ථක නිර්මාණයක් කරන්න බැහැ. ඉදිරියටත් ඕනම අවදානමකට ලෑස්තියි. කොහොමටත් මම වැඩිදුර හිතන්න ගියේ නැහැ. බය දැනෙන්නේ ඕනවට වඩා හිතනකොට තමයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර? හැමෝම ඒ වෙළෙඳ දැන්වීම ගැන කතා කරනවා. කරපු වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. ටෙලි සීරිස් එකකටත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ලංකාවේ ක්‍රියාදාම වීරවරියන් අඩුයි නේද? මුලදිත් මම කිව්වේ අභියෝගාත්මක දේවල්වලට තමයි මම කැමැති. අනාගතයේ සිංහල සිනමාවේ ක්‍රියාදාම වීරවරියක් වෙන්න කැමැතියි. සිනමාව ගැන හැදෑරීමක් කරනවාද? මේ දවස්වල ඒ ගැන උනන්දුවක් තියෙනවා. ඉදිරියේ දී වෙනත් රටකට ගිහින් සිනමාව ගැන හදාරන්න කැමැතියි. ජිම්නාස්ටික් නතර වෙයිද? කොහෙත්ම නැහැ. මේ දවස්වල නැවතත් පුහුණුවීම් ආරම්භ කළා. මොනා කළත් අංක එක ක්‍රීඩාව. දෙවනුව තමා රඟපෑම. බෙලරූස්වල වර්ල්ඩ් චැම්පියන් ෂිප් එකට සූදානම් වෙනවා. දැන් වයස කීයද? තාම මට දහ අටයි. අධ්‍යාපන කටයුතු? මේ දිනවල උසස්පෙළ විභාගය සඳහා පාඩම් කරනවා. එක්කම වැඩ දෙක තුනක් කිරීමේ දක්ෂතාව උපතින්ම මා සතුව තිබෙනවා. නිළියක් නම් ශරීරය ලස්සනට තියාගන්න වෙනවා නේද? මම කරන ක්‍රීඩාවත් එක්ක එය මට පහසුයි. මොකක්ද ක්‍රීඩාව නිසා ෆිගර් එක තියාගන්න පුළුවන්. ඒක මට ලොකු වාසියක්. ක්‍රීඩාව තුළදී අනතුරුවලට මුහුණ දීලා නැද්ද? කීප සැරයක් මුහුණ දුන්නා. නමුත් ඉතා උනන්දුවෙන් වැඩ කරලා නැවතත් සුවවෙලා ක්‍රීඩාවට අවතීරණ වුණා. කවුද ඔබේ පසුපස ඉන්නේ? අම්මයි තාත්තයි තමා. මගේ අම්මා ලේඛිකාවක්. ක්‍රිෂාන්ති කුලසූරිය. මේ හැමදේකින්ම සතුට විඳින්නේ ඇය තමයි. ජිම්නාස්ටික් කරනකොට බය දැනිලම නැද්ද? දැනිලා තියෙනවා.ඩයිවින් කරනකොට මීටර් දහයක් විතර උඩ ඉඳන් පනින්න ඕන. අඩි 15ක් විතර වතුර යටට යනවා. බය අමතක කරලා දානවා. අනාගත බලාපොරොත්තු? ක්‍රීඩාවෙන් ලංකාවට රන් පදක්කම් ලබා දෙන්න ඕන. ඒ වෙනුවෙන් තමා බය අමතක කරලා ජිම්නාස්ටික්වලට ආවේ. ලංකාවේ හොඳම ක්‍රියාදාම රංගන ශිල්පිනිය වෙන්න ඕන. ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර ඡායාරූප - ප්‍රදීප් දඹරගේ ඇඳුම් නිර්මාණය - ප්‍රියා දිමුංගු
 

More News..