brand logo

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානයට ආවේ ස්පාඤ්ඤ ජාතිකයෙක්ද?

11 May 2020

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වුණ දවසෙම ලංකාවෙම පළවැනියා වුණේ කවුද කියලා පින්්තූරයක් එක්කම පෝස්ටුවක් මුහුණු පොතට දාලා තිබුණා. ‘අ.පො.ස සාමාන්‍ය පෙළ දිවයිනේ ප්‍රථම ස්ථානය’ කියලා පෝස්ට් එකට මාතෘකාව දාල තිබුණා. ඊට යටින් ප්‍රසන්න පෙනුමක් තියෙන තරුණ ළමයෙක්ගේ ඡායාරූපය. ‘සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ඔහුට කාත් කවුරුවත් නෑ. ඉන්නේ ළමා නිවාසයක. තනිවම ඔහුට ජීවිතය ජයගන්න සුබ පතන්න. දෙවි පිහිටයි’ කියලා තවත් වචන පෙළක් මේකට අමුණලා තිබුණා. දැන් එතකොට මේ පාර සාමාන්‍ය පෙළ ලංකාවෙන්ම පළවැනියා අම්ම අප්ප නැති අසරණයෙක්. ඒ දරුවගෙ පිංතූරෙ තමයි මේ පෝස්ට් එකේ තියෙන්නේ. සාමාන්‍ය පෙළ විශිෂ්ටයාගේ අනුවේදනීය කථාවට තටු ඇවිත් රට පුරා පියඹනවා. ඒත්, සාමාන්‍ය පෙළ වගේම ශිෂ්‍යත්ව විභාගෙත් ලංකාවෙ පළවැනියා කවුද කියන එක ආයෙ ප්‍රසිද්ධ කරන්නෙ නැතිය කියලා, වගකිව යුත්තො ගිය අවුරුද්දෙ තීරණයක් ගත්ත බව මේ කාටවත් මතක නෑ. මොකද මොළය ඕෆ් කරලා නිසා විචාරයක් නැහැ. ඒ විතරක් නම් මදැයි. මේ පිංතූරයෙ ඉන්න කොලුවට තියෙන්නේ සුද්දෙක්ගෙ පෙනුමක්. ඇඳගෙන ඉන්න ඇඳුමත් බොහොම පිළිවෙළයි. විධායක ශ්‍රේණියේ අයෙක් ඉන්න ලොකු පුටුවක වාඩිවෙලා. ඒත් පිංතූරෙක ඉන්න සෙයියාවෙන්ම අවසාන නිගමනයකට එන්න බැහැනේ. ඒ නිසා අපි මේ පිංතූරය ‘ගූගල් පිංතූර සෙවුම’ට මේ ඡායාරූපය ඇතුළු කරලා ඇත්තටම මේ කවුද කියල හොයලා බැලුවා. එතකොට ඒ මල්ලිගෙ මේ පිංතූරෙ විතරක් නෙමෙයි තවත් හොඳ හොඳ පිංතූර එක්ක, ලංකාවේ ෆේස්බුක් ‘ප්‍රමුඛ පුවත’ සැපයූ මේ ‘මල්ලී’ගේ පැටිකිරියම එළියට ආවා. ලංකාවේ ළමා නිවාසෙක දරුවෙක්ය කියපු මේ ‘මල්ලී’ ස්පාඤ්ඤ ජාතිකයෙක්. නම් ජේර්ඩි එල් නිනෝ පෝලා. ඉපදිලා තියෙන්නේ 1994. ඒ කියන්නෙ දැන් වයස 25 සම්පූර්ණයි. උස අඩි 5යි අඟල් 8ක් වුණාට බර කිලෝ 59යි. ඒ කියන්නෙ කෙසෙඟ කොල්ලෙක්. පොඩි එකෙක්ගෙ වගෙ අහිංසක පෙනුමකුත් තියෙනවා. ඒ නිසා ඇහෙන් බලලා පපුවෙන් තීරණ ගන්න අපේ ඇත්තන්ගෙ හිතේ තියෙන සා/පෙළ මොඩ්ල් එකට ‘මල්ලිව’ ගැළපෙනවා. ඒත් මේ මල්ලි නම් හොඳ හොඳ විභාග ගොඩක් පාස් කරපු හොඳම කෙළිකාරයෙක්. ජේර්ඩි එල් නිනෝ පෝලා කියන්නේ කප් ගහපු නිල් චිත්‍රපට නළුවෙක්. අවුරුදු 18 න් නිල් චිත්‍රපටි රඟපාන්න ඇවිත් ‘වසරේ වැඩිම නැරඹුම්වාර සහිත නිල් චිත්‍රපටය’ට රංගනයෙන් දායක වුණු, කාම වෙළෙඳාමේ නොම්මර එකට විකිණෙන ‘ශරීර භාණ්ඩයක්’. නිල් චිත්‍රපට 100කට වැඩිය රංගනයෙන් දායක වුණු මේ ‘මල්ලී’ ඒ තරම් වැඩ රාජකාරි මැද්දේ සාමන්‍ය පෙළත් ලියලා ලංකාවෙන්ම පළවැනියා වුණා කියන්නේ හැබෑටම ඉතිං අගය කළ යුතු කාරණයක් තමයි. ලංකාවෙ ඉවක් බවක් නැතිව ෂෙයාර් වුණු මේ ෆෝස්ට් එකට අපේ ‘බබාලා’ දාලා තිබුණු කමෙන්ටු කීපයක් තමයි මේ. ‘ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ගැන. සුබ අනාගතයක් වේවා මල්ලි’ එහෙම කියලා තිබුණේ අයියා කෙනෙක්. ඇත්තටම අවුරුදු 18 වෙනකොටම මේ මල්ලි කරන්න ගත්තු වැඩ ගැන ඒ අයියා සතුටු වෙන්න ඕනේ. මල්ලි දැනටම සුබ අනාගතයක් හදාගෙන ඉවරයි. මේ තවත් කමෙන්ට් එකක් ‘ඒ බුද්ධිමත් බව මල්ලිගෙ හිනාවෙන් පේනවා. ගුඩ් ලක්’ ඒ කමෙන්ටුවත් අයියා කෙනෙක්ගේ. මල්ලිගෙ හිනාවේ බුද්ධිමත් බව කෙසේ වෙතත්, මෙලෝ විචාරයක් නැතිව මේවාට හසුවෙන එවැනි අයියලාගේ බුද්ධිමත්භාවය ගැන නම් හිනා නොවී ඉන්න බැරි තරම්. ලංකාවේ පළවැනියාට සා/පෙළ සමත් ළමා නිවාසයක ඉන්න මේ මල්ලී ගැන හද උපන් අනුකම්පාවෙන් අක්කා කෙනෙක් මෙන්ම මෙහෙම කමෙන්ටුවක් කරලා තිබුණා. ‘මට එයාව හදාගන්න බැරිවෙයි ද? ජේර්ඩි එල් නිනෝ පෝලා වැනි මල්ලී කෙනෙක් හදාගන්නට ගන්නා අක්කාට පාඩු නම් නෑ (අපි එහෙම කිව්වේ පෝලා ඒ කර්මාන්තයෙන් හොඳට හම්බ කරන නිසයි) තවත් අක්කා කෙනෙක් මෙහෙමත් ලියලා තිබුණා. ‘ගියපාරත් මේ ම්ල්ලි පළවැනියා කියලා දාලා තිබ්බනේ’ ඒක කතාව නම් මසුරං. සෝෂල් මීඩියා වල පළවෙන හැම කෙහෙල්මලම ඇත්ත හැටියට ගන්නා අපේ බබ්බුංව එකම බොරුවෙන් ආයෙ ආයෙත් රවට්ටන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. සංවේදී ඇන්ටි කෙනෙක් මෙහෙමත් කමෙන්ටුවක් දාලා තිබුණා ‘බුදු සරණයි පුතේ’ ඇත්තමයි. වගකියන්න එකෙක් නැති සයිබර් අවකාශෙ මොනවා හරි වචන ටිකක් අමුණලා ඇදබාන මොකක් හරි කෙප්පයක් ‘පරම සත්‍ය’ හැටියට පිළිගන්න එක විතරක් නෙමෙයි, ඒ අනුව ආණ්ඩුත් හදන අපි වගේ ජාතියකට බුදු සරණම තමයි. මේ ඔක්කොම හදවතින් දාපු කමෙන්ට්. ඒත් මෙලෝ විචාරයක් නෑ. ඒ වගේ අවිචාරවත් ජාතියක ශරීර කූඩුව සෙට් කරද්දි, මොළය ඒකෙ උඩින්ම තියලා ස්වභාව ධර්මයා කළේ වැරැද්දක්. මොළය තියෙන තැන හදවත තියලා, මොළය බඩටත් පහළින් පිටිපස්සට වෙන්න සෙට් කළා නම් ඒක තමයි ප්‍රකෘතිය. පරම සත්‍යය ලෙසින් සෝෂල් මීඩියා අදහන ඇත්තන්ගේ ශරීරයේ ඉහළම තැනක මොළය තැබීම නොවැ විකෘතිය. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..