brand logo

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන දැනුම් දීමක්

24 September 2021

මතුව ඇති තත්වය ගැන පැහැදිලි කිරීමක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව, එම දෙපාර්තමේන්තුව පවසන්නේ, 011 2 784 208, 011 2 784 537, 011 3 140 314 යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවය. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) අන්තර්ජාලයට මුදාහැරි බව විභාග කොමසාරිස් ජනරාල් සතත් පූජිත මහතා සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 622,352 දෙදෙනෙකු විභාග මධ්‍යස්ථාන 4,513කදී පෙනී සිට තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන නිල වෙබ්අඩවි වෙත පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. දිවයිනේ උද්ගත වී ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වූ අතර එම විෂයන්හි ප්‍රතිඵල හැර අනෙකුත් විෂයන්හි ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පාසල් විවෘත කිරීමෙන් අනතුරුව සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැවත එම සිසුන් සඳහා පමණක් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට නියමිතය. දිවයිනේ සියලුම පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත්කිරීමට පියවරගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පාසල් නැවත විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදෙනු ලැබීය. ඒ අනුව පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරන ලද වැඩපිළිවෙල පිළිබඳව අද දිනයේ ජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් ද අද දිනයේ තීරණය කිරීමට නියමිතව තිබේ. කොවිඩ් කාර්යසාධක බළකාය රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
 

More News..