brand logo

සාප්පුවේ පොත් ප්‍රදර්ශනයට ආ හැටි

21 September 2020

මේ සැප්තැම්බරයයි. සැප්තැම්බරය යනු සාහිත්‍ය මාසයයි. සමහරුන් එයට පොත් මාසය කියාත් කියති. සැප්තැම්බරය පොත්වලට, සාහිත්‍යයට මේ තරම් ජනප්‍රිය වූයේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන්නට ගත්තාට පසුවය. ඒත් ඊට පෙර වසර පනහකට, හැටකට කලින් සිටමත් සැප්තැම්බරය සාහිත්‍යයට වෙන් වූ මාසයක් වුණේය. මුල් කාලයේ සාහිත්‍යය වෙනුවෙන් වෙන්ව තිබුණේ ජුනි මාසයයි. ඒ 1958 ජනවාරියේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ පෙරමුණේ තිලක විසින් සාහිත්‍ය දිනයක් පවත්වන්නට සාහිත්‍ය උපදේශක සභාවට කළ යෝජනාවත් සමගය. ඒ අනුව සෑම වසරකම ජුනි 01 වැනිදා රට පුරා සිංහල සාහිත්‍ය දින පවත්වන්නට සාහිත්‍ය සභාව තීරණයකට පැමිණ තිබිණි. ඉන්පසු 1958 ජුනි 01 වැනිදා මුල්ම සාහිත්‍ය දිනයේ උත්සවය පැවති අතර ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය ලේඛක මුල්ක් රාජ් ආනන්ද ද ඊට සහභාගි වී ඇත. ජුනි 05 වැනිදා දිනය පසු කාලයේ සැප්තැම්බර් 01 වැනිදාට වෙනස් වීමෙන් සාහිත්‍යයට වෙන් වූ මාසය සැප්තැම්බර් මාසය වී ඇත. ඒ අනුව සැප්තැම්බරය අලුත් පොත් එන, පොත් ප්‍රදර්ශන තියන, පාඨකයන් වැඩිපුර පොත් මිලදී ගන්නා මාසය බවට විකාශනය වුණේය. ලංකාවේ පොත් ප්‍රදර්ශනවලට ඉතිහාසයක් තිබේ. ඒ අනුව මුල්ම පොත් ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ අදින් අවුරුදු හැටහතරකට පෙරය. ඒ ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි ද මැල්ගේ මතකයේ ඇත්තේ මෙලෙසය. ‘‘ලංකාවේ මුල්ම පොත් ප්‍රදර්ශනය පවත්වලා තියෙන්නේ මොරටුව බෞද්ධ මන්දිරයේ. ඒ 1956 සැප්තැම්බර් මාසේ ගුණසේන පොත් සමාගමේ අනුග්‍රහයෙන්. අපේ තාත්තාගේ මූලිකත්වයෙන් තමයි මේ පොත් ප්‍රදර්ශනය පවත්වලා තියෙන්නේ. අපිත් පහුකාලීනව තමයි දන්නේ එදා ඒ පවත්වලා තියෙන්නේ ලංකාවේ තිබ්බ පළවෙනි පොත් ප්‍රදර්ශනය කියලා.’’ සුන්දර නිහතමානි ද මැල්ගේ පියා වන ලාල් ප්‍රේමනාත් ද මැල් ඒ ප්‍රදර්ශනය පවත්වන්නට මුල් වී ඇත්තේ එවකට ඔහු ඇම්. ඩී. ගුණසේන පොත් සමාගමේ සේවය කළ නිසාය. ඔහු ප්‍රවීණ ලේඛකයකුද වේ. එම වසරේ එලෙස පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව 1957 වසරේ සිට ගුණසේන සමාගමෙන් ගාල්ල ප්‍රදේශයේ පොත් ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ඇත. ඒ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ගාල්ලේ පිහිටුවූ ගුණසේන පොත් සාප්පුවේ කළමනාකරු ලෙස 1957 වසරේ පත්ව යාමත් සමගය. අදට වඩා එකල පැවැත්වූ පොත් ප්‍රදර්ශනවල විශේෂත්වය වන්නේ ඒ පොත් ප්‍රදර්ශන දිනකට පමණක් සීමා වීමත්, අද මෙන් විශාල පොත් ප්‍රමාණයක් නොතිබීමත්ය. එමෙන්ම එදා එසේ පැවැත්වූ පොත් ප්‍රදර්ශන සඳහා ප්‍රචාරය ලබාගෙන ඇත්තේ අත්පත්‍රිකා මුද්‍රණය කොට බෙදා හැරීමෙන් බවත් සුන්දර නිහතමානි ද මැල් මහතාගේ මතකයේ ඇත්තේ මෑතක් වනතුරුත් ඒ අත් පත්‍රිකා ළඟ තිබූ නිසාය. පොත් ප්‍රදර්ශනවල ආරම්භය එසේ ඉතිහාසයේ ලියැවෙද්දී හැටේ දශකය ආරම්භ වීමත් සමග ලංකාවේ ගම්දනව් සිසාරා තවත් පොත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වෙන්නට පටන් ගත්තේය. ඒ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පවත්වනු ලැබූ රුසියානු පොත් ප්‍රදර්ශනයයි. මේ පොත් ප්‍රදර්ශනය මෙහෙයවා තිබුණේ එකල ප්‍රබලව සිටි කොමියුනිස්ට් පක්ෂය විසිනි. එදා පැවති රුසියානු පොත් ප්‍රදර්ශනයේ තෙරතුරු ප්‍රමාණයක් රුසියානු පොත් ප්‍රකාශන හිමිකරු සරත් ලාල් කුමාර සතුව ඇත. ‘‘හැටේ දශකය ආරම්භයේ සිට අසූව දශකයේ අවසානය දක්වා රුසියානු පොත් ප්‍රදර්ශනය රටේ විවිධ ප්‍රදේශවල පවත්වලා තියෙනවා. ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් ලංකාව පුරාම සිටියා. ඒ වගේම රුසියානු පොත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන්ම තිබිලා තියෙනවා. මේ සියලු පොත් එකල මොස්කව්වලින් නොමිලේ තමයි මෙරටට ලැබිලා තියෙන්නේ. කොමියුනිස්ට් පක්ෂය ඉතාම සුළු මුදලකටයි ප්‍රදර්ශනවල රුසියන් පොත් විකුණලා තියෙන්නේ.’’ මේ අයුරින් රුසියානු සාහිත්‍යය ගැන ඒ කාලයේ වෙනම පාඨක පිරිසක් ලංකාවේ හැදෙද්දී ඔවුන්ට තැපැල් මාර්ගයෙන් ‘‘සෝවියට් දේශය’’ සඟරාවද කියවීමට ලැබී ඇත. ඔවුන්ගේ පාඨක ජාලයේ සාමාජිකයන් වූවන්ට ඒ පොත ලැබී ඇත්තේ නොමිලේමය. ‘‘සෝවියට් දේශය සිංහලෙන් පාඨකයන්ට ලැබෙද්දී එය ඉංග්‍රීසියෙන් සෝවියට් යූනියන් ලෙසත්, දමිළ බසින් සෝවියට් නාඩි ලෙසත් පාඨකයන්ට ලැබුණා. ඊට අමතරව සෝවියට් පොතුත් මේ විදිහට අවශ්‍ය පුද්ගලයන්ට තැපැල් මාර්ගයෙන් යැවීමට කටයුතු කර තිබෙනවා. මේ සියල්ල අසූනමය වසරින් පසුව නතර වුණා.’’ මේ අයුරින්ම ඒ කාලයේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ‘‘චීන පොත් ප්‍රදර්ශන’’ ද ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇත. එසේ ලංකාවේ පොත් ප්‍රදර්ශනය තැන තැන පවත්වද්දී 1972 වසර ‘‘යුනෙස්කෝ ආයතනයෙන් ‘‘ජාත්‍යන්තර පොත් වර්ෂය’’ ලෙසින් නම් කරනු ලැබුවේය. ඊට සමගාමීව 72 වසරේ මහරගම සරසවි පොත්හලේ විශේෂ පොත් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබූයේ එවකට හංස ප්‍රකාශන ආයතනයේ සේවය කළ පියසේන වික්‍රමගේ සහ ලෝටස් පොත්හලේ සේවය කළ රංජන් පෙරේරාගේ මූලිකත්වයෙනි. ඒ ගැන පියසේන වික්‍රමගේ මතක් කළේ මෙසේ ය. ‘‘ඔය ජාත්‍යන්තර පොත් වර්ෂය නිමිති කරගෙන 72 දී මමයි, රංජනුයි කෝට්ටේ ආසනයේ පදිංචිව සිටින ලේඛකයන්ගේ ඡායාරූප ඇතුළත්ව පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කළා. ඒකට පහසුකම් සැලසුවේ එවකට මහරගම සරසවි පොත්හලේ කළමනාකාරීත්වය දැරූ එච්. ඩී. ප්‍රේමසිරි මහත්තයා. ඒ අනුව තමයි මහරගම සරසවි පොත්හලෙන් ඒ පොත් ප්‍රදර්ශනය කළේ. ඊට පස්සේ ඒ ප්‍රදර්ශනයම අපි ඒ අවුරුද්දේ නුගේගොඩ සමුපකාර ගොඩනැගිල්ලෙත්, දෙහිවල තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ලෙත් පැවැත්තුවා.’’ එදා ඒ ප්‍රදර්ශනයට මුල් වූ පියසේන වික්‍රමගේ සහ රංජන් පෙරේරා දෙදෙනාම අද එච්. ඩී. ප්‍රේමසිරි සභාපතිත්වය දරන සරසවි පොත් සමූහ ව්‍යාපාරයේ සේවය කරන්නෝ වෙති. ‘‘70 දශකය වන විට විරැකියාවෙන් සිටි කුඩා තරුණ කණ්ඩායම් පාසල්වල පොඩි පොඩි පොත් ප්‍රදර්ශන තියන්න ගත්තා. මමත් ඒ විදිහට ඒ කාලේ ලංකාවේ විවිධ පළාත්වල පාසල්වල පොත් ප්‍රදර්ශන තිබ්බා. පාසල්වල පටන් ගත්ත පොත් ප්‍රදර්ශන අදටත් තියෙනවා.’’ පියසේන වික්‍රමගේ කියන්නේ ඒ සඳහා එවක තිබූ පොත් සාප්පුවලින් ඔවුන් පොත් ගෙන ගිය බවයි. අතීතයේ අපේ පැරැන්නන් පොත පත ඇසුරු කළේ පන්සලේ පොත් ගුලෙනි. එකල පන්සලේ, ප්‍රභූන්ගේ නිවෙස්වල ඇරුණු කොට පොත පත තිබුණේ ගමේ වෙද මහත්තයාගේ නිවසේය. ගමේ සාමාන්‍ය ජනතාව බෞද්ධ පොතපත කියෙව්වේ ගමේ විහාරස්ථානයෙනි. ගම්වැසියෝ ගමේ විහාරස්ථානයට එතරම් ලැදිය. බද්දේගම විසූ ගනේගම සරණංකර හිමිපාණෝ ගම්වැසියන්​ගේ දුවා දරුවන්ගේ කියවීමේ රුචිකත්වය නැංවීමට අපූරු දෙයක් කළහ. ඒ ජංගම පුස්තකාලයක් ඇති කිරීමය. 1967 වසරේ සිට බද්දේගම ප්‍රදේශයේ මේ ජංගම පුස්තකාලය ඇතිවිණි. වැලිවිටියේ සුමන නායක ස්වාමීන් වහන්සේ පවසන්නේ ගමේ දරුවන්ට එය මහඟු සෙතක් වූ බවකි. ‘‘මේ පුස්තකාලය අපූරු එකක්. ජංගම පුස්තකාලය වාහනයක තිබුණු එකක් නෙමේ. ගොන් කරත්තයක තමයි තිබුණේ. සතියකට වරක් තමයි මේක ගම්වලට යන්නේ. එක සතියක ගිහිල්ලා දරුවන්ට කියවන්න පොත් තෝරා ගන්න දෙනවා. අනෙක් සතිය එම පොත් අරගෙන වෙනත් පොත් තෝරගන්න දෙනවා. මේ ගොන් කරත්තය පසුකාලීනව ලෑන්ඩ් මාස්ටරයක් බවට පත් වෙනවා. එහෙම තමයි අපේ ගනේගම සරණංකර හාමුදුරුවෝ ගමේ දරුවන්ගේ කියවීම ඇති කළේ’’ එසේ දිගටම ලංකාව පුරා සුළුවෙන් ඒ කාලයේ පොත් ප්‍රදර්ශන පැවැත් වී ඇත. 90 දශකයේ මුල් කාලයේ මල්පියලි පොත්හලෙන් පාසල් පොත් ප්‍රදර්ශන අරඹන්නේ ඔවුන් පාසල් විෂය නිර්දේශයට අනුව පොත් මුද්‍රණය ඇරඹීමත් සමග බව එදා මල්පියලි පොත්හලේ හිමිකරුව සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ඇ. ලයනල් සිල්වා සඳහන් කළේය. ඒ පොත් ප්‍රදර්ශන මෑතක් වනතුරුම ඔවුන් පවත්වා තිබිණි. ජනතා විමුක්ති පෙරමුණද ඔවුන්ගේ ඉල්මහ සැමරුම මුල් කරගෙන විවිධ ප්‍රදේශවල සමුළු පවත්වති. එකී සමුළුව පවත්වන ස්ථානයේ ඔවුන් පොත් ප්‍රදර්ශනද පවත්වන්නේය. ඒ ප්‍රදර්ශන ආරම්භ කර ඇත්තේ 1994 වසරේ සිටය. පොතපත සඳහා නව පිබිදීමක් ඇති වන්නේ අනූව දශකයේ අවසාන කාල වකවානුවේදීය. ඒ ලංකාවේ දැවැන්ත පොත් ප්‍රදර්ශනයකට අඩිතාලම දමමින් 1999 වසරේ සැප්තැම්බරය මෙරට විශාලම පොත් ප්‍රදර්ශනය ඇරඹීමෙනි. 1984 පිහිටුවාගෙන තිබූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ කොළඹ කලාභවනේ පැවැත්වූ ජාතික පොත් ප්‍රදර්ශනය එයයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර කියන්නේ එදා මෙම ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි විසි දෙකකින් ඇරඹි බවකි. ‘‘1999 සහ 2000 වසරේ කොළඹ කලා භවනේ ‌පොත් ප්‍රදර්ශන පැවැත්වුණත් පාඨක සහභාගිත්වය අධික වීම හේතුවෙන් ඊට පසු වසරේ සිට අපි මේ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගෙන ගියා. එතැන් සිට එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකුත් වුණා. මෙවර පැවැත්වෙන්නේ විසි දෙවැනි වරටයි. දේශීය පොත් ප්‍රදර්ශන කුටි තුන්සිය හැටකින් සහ විදේශ පොත් ප්‍රදර්ශන කුටි හතළිහකින් මෙවර පොත් ප්‍රදර්ශනය සමන්විත වෙනවා.’’ එදා මෙදාතුර මිනිසුන්ට පොත් කියවීමේ ආශාව වැඩිදියුණු කරන්නට පොත් සාප්පුවල තිබූ පොත්, පොත් ප්‍රදර්ශනවලට ආවේ එහෙමය. ශිරෝමි රත්නායක
 

More News..