brand logo

සාග් මවුන්ටන් පාපැදි තරගයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම ‘ඩීල්’ එකක්?

30 December 2019

නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි කණ්ඩායමට අදාළ ඉසව් සඳහා සහභාගි වීමට නොහැකි වීම පසුපස දේශද්‍රෝහී කටයුත්තක් සිදුවුනේද යන්න සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන මෙන් මෙරට පාපැදි සමාජ කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ‘අරුණ’ ට වාර්තා වේ. ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි ක්‍රීඩකයන් කණ්ඩායම් සහ කේවල යන ඉසව් සඳහා නේපාලයේදී තරග වැදීමට සූදානමින් සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අදාළ තරග ආරම්භක රේඛාවට ගොස් තරගයට ඉදිරිපත් නොවන ලෙසට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී තිබීමත් සමගින් ඔවුන්ට මෙම ඉසව් අහිමි වූ බව විස්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ඒ හේතුවෙන් අදාළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිත්‍ය වශයෙන්ම තරගයට සහභාගි වීමට අවස්ථාව නොලැබෙන බව කල්තියා දැනගෙන සිටි බව පෙනී යයි. ශ්‍රී ලංකාව හැරුණු විට තරගාවලිය සඳහා සත්කාරක නේපාලය සහ ඉන්දියාව පමණක් සහභාගි වී සිටි බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග ආරම්භක ස්ථානයට අනිවාර්යයෙන්ම යාමට සිදුවිය. ඊට හේතු වූයේ මෙම තරගාවලියේ පැවැත්වෙන කිසියම් තරගයකට අඩුම තරමේ කණ්ඩායම් තුනක් සහභාගි නොවුණහොත් එම තරගය අවලංගු කිරීමට සංවිධායකයන් විසින් අතහැරීමට කටයුතු යොදා සිටි බැවිනි. තරග පැවැති දිනයන්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග ආරම්භක ස්ථානයට ගොස් තමන්ට ඉහළින් ලැබී තිබුණු උපදෙස් පරිදි කටයුතුකර තිබේ. තරග ආරම්භක ස්ථානයට යාමේදී තමන් නියත වශයෙන්ම ඉසව්වෙන් ඉවත්වන බව දන්නා හෙයින් හිස් ආවරණ පවා පැලඳීමකින් තොරව මෙම ක්‍රීඩකයන් එම ස්ථානයට ගොස් තිබේ. එයද තරග නීති උල්ලංඝනය කිරීමක් වශයෙන් විදෙස් විනිසුරුවරයෙක් පසුව සඳහන්කර ඇත. එම මවුන්ටන් ඉසව්වන්ගේ රන් පදක්කම් නේපාලය සතුවීමත් සමග, යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් නේපාලයට අභියෝගයක් එල්ලවෙතැයි යන සැකය මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත්කර ගැනීමට කටයුතු කළේදැයි යන ප්‍රශ්නය මේ වනවිට මතුව තිබේ. මේ සම්බන්ධයෙන් තතුදත් පාපැදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගෙන් විමසන ලදුව ‘මීළඟ ආසියානු පාපැදි සම්මේලනයේ නිලවරණයට ඉන්දියාවෙන් කෙනෙක් ඉල්ලනවා. ඒ නිසා ඉන්දියාවට නේපාලයේ ඡන්දය අවශ්‍යයි. නේපාලයේ ඡන්දය ඉන්දියාවට ලබාදීමට කොන්ත්‍රාත් එක අරන් තියෙන්නේ ඔය අපේ ක්‍රීඩකයන්ට තරගයට යන්න එපා කියපු අය. ඒ නිසා නේපාලයට අනිවාර්යයෙන් රන් පදක්කම් දිනා දීලා ඡන්දෙ ඉන්දියාවට අරන් දෙන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා පිල තරගයට සහභාගි කළේ නැහැ. ඉන්දියාවට කරපු මේ උදව්වට ලංකාවේ පාපැදි ක්‍රීඩකයන්ට පුහුණු වෙන්න එහෙන් මැෂින් දෙකකුත් (පැපැදි පැදීමේ පුහුණු යන්ත්‍ර) එවලා කියලා ආරංචියි. ඔන්න ඔය කාරණා නිසා තමයි අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලලා තියෙන්නේ’ යි එම පාර්ශ්වය කියා සිටියේය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මවුන්ටන් ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරා ගැනීම හිටි හැටියේ සිදුවූ එකක් බවත්, උඩවලව ප්‍රදේශයේ තෝරා ගැනීමේ තරගයක් කඩිනමින් පවත්වා ක්‍රීඩකයන් තේරූ බවත් අදාළ පාර්ශ්වය වැඩිදුරටත් ‘අරුණ’ වෙත කියා සිටියේය. ගයාශාන් විතානආරච්චි
 

More News..