brand logo

සාග් දිනූ ලංකාවේ 7කට ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට වරම්

27 December 2019

ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා උළෙල නියෝජනය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට වරම් හිමිව තිබේ. මෙම 'කෝටාව' සඳහා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 7 දෙනෙකු හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇති බවට වාර්තා වේ. ලබන වසරේ පෙබරවාරි මසයේ 12 හා 13 යන දිනයන්හි චීනයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ දක්වන දක්ෂතා මත ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවද පවතී. එම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව ලබන වසරේ මාර්තු 13 සිට 15 දක්වා චීනයේ නන්ජින්ග් හිදී පැවැත්වීමට නියමිතය. ඉකුත් දා නිම වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩා ඉසව්වලින් වැඩිම රන් පදක්කම් දිනා ගත් දිල්ෂි කුමාරසිංහ මීටර් 400 සහ 800 ඉසව් සඳහාත්, රන් පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් දිනාගත් ලක්ෂිකා සුගන්ධි, මීටර් 60 කඩුලු සහ පංච ප්‍රයාම තරග සඳහා රන් පදක්කම් 2ක් දිනාගත් නිලානී රත්නායකත්, මීටර් 1500 හා මීටර් 3000 ඉසව් වෙනුවෙනුත් සහාභාගී වීමට නියමිතය. මීට අමතරව දකුණු ආසියානු උළෙලේදී අසනීප තත්ත්වක් මධ්‍යයේ තරග වැද රන් පදක්කම දිනූ ඉඳුනිල් හේරත් මීටර් 800 ඉසව්වටත්, ද්විත්ව රන් පදක්කම්ලාභී අරුණ දර්ශන මීටර් 400 ඉසව්වටත් සහභාගීවීමට සූදානමින් ඇති බවට වාර්තා වේ. මේ අතර පිළිවෙළින් තුන්පිම්ම හා දුර පැනීමෙන් රන් පදක්කම් දිනාගත් හෂිනි ප්‍රබෝදා සහ සාරංගී සිල්වාද මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. තවද මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට ද කණ්ඩායමක් සහභාගි කරවීමට මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමුව ඇති අතර ඉකුත් වසරේදී ඉරානයේ දී පැවැති ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා සහාය දිවීමේ තරග ඉසව්වට කණ්ඩායම් 4ක් පමණක් සහභාගි වූ බැවින් මෙවර උළෙලට නම් කර ඇති ක්‍රීඩිකාවන් අතරින් සහාය දිවීමේ ඉසව්ව නියෝජනය කිරීමේ වැඩි ඉඩකඩක්ද පවතියි. චතුර රණසිංහ
 

More News..