brand logo

සාග් ගිය සා/පෙළ ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිඵල ‘ෂෝක්’

29 April 2020

කුත් දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත්ව සිටිති. ශ්‍රී ලංකා ජාතික සංචිතයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස ශ්‍රී ලංකා පාසල් තරග විභාගයකට මුහුණ දුන් දෙවන අවස්ථාව මෙයවන අතර ක්‍රීඩිකාවන් 6 දෙනෙකු මෙලෙස විභාගයකට සහභාගි වූහ. මින් ඉහත පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දුන්නේය. මෙවර විභාගය සඳහා සහභාගි වූ සියලු දෙනාම අදාළ ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ඇති අතර අද ඔවුන් විභාගයේදීද සාර්ථකව ප්‍රතිඵල ලබාගෙන තිබීම ආදර්ශමත් කරුණක් වී තිබේ.ඒ අතුරින් කඩු හරඹ ඉසව් සඳහා ඉදිරිපත් වෙමින් ලෝකඩ පදක්කම බැගින් දිනාගත් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ නිවුන් සොහොයුරියන් වූ චතුනි කරුණාරත්න ‘ඒ’ සාමාර්ථ 9ක් සහ ඇගේ සොහොයුරිය වූ චමෝදි කරුණාරත්න ‘ඒ’ සාමාර්ථ 8ක් සහ ‘බී’ සාමාර්ථයක් ලබාගෙන තිබේ. කාන්තා ටෙනිස් තරගාවලියේදී රිදී පදක්කමක් දිනූ කොළඹ කාන්තා විද්‍යාලයේ අලානා සෙනෙවිරත්න ‘ඒ’ සාමාර්ථ 7ක් සහ ‘බී’ සාමාර්ථ දෙකක් දිනාගත් අතර එම විද්‍යාලය නියෝජනය කරමින් මේස පන්දු රිදී පදක්කමක් දිනාගත් අයිලා චිට්ටි ‘ඒ’ සාමාර්ථ 5ක්, ‘බී’ සාමාර්ථ 2ක් සහ ‘සී’ සාමාර්ථ 2ක් ලබාගෙන තිබුණි. තරගාවලියේදී ස්කොෂ් ලෝකඩ පදක්කම දිනූ කොළඹ විශාකා විද්‍යාලයේ යෙහෙනි කුරුප්පු ‘ඒ’ සාමාර්ථ 4ක්, ‘බී’ සාමාර්ථ 4ක් සහ ‘සී’ සාමාර්ථයක් ලබාගත් අතර විශාඛා විද්‍යාලය නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න ‘ඒ’ සාමාර්ථ 4ක්, ‘බී’ සාමාර්ථ 2ක් සහ ‘සී’ සාමාර්ථ 2ක් ලබා ගත්තාය. විභාගය සඳහා පෙනී සිටි ක්‍රීඩිකාවන් අතරින් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩිකාව ගංගා වූ අතර ඇය පිහිනුම් ඉසව් නියෝජනය කරමින් තුනකින් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. අදාළ විභාග කටයුතු අධීක්ෂණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පරිපාලක කණ්ඩායම ලෙස චන්දන පෙරේරා, අයිරාංගනී රූපසිංහ, චාරුනි දිසානායක සහ සමීර ලක්රුවන් සහභාගි වූ අතර විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගි විය. මේ අවස්ථාවේදී නිලධාරියෙකු ලෙසින් සහභාගි වූ සමීර ලක්රුවන් මහතා මෙම ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ඇත්තටම මම හදවතින්ම සියලුම ක්‍රීඩිකාවන් වෙත සුබ පතනවා. ඒ අත්දැකීම හරිම අසීරුයි. මොකද තරගාවලියේ සමහර ඉසව් අවසන් වුණු ගමන්ම මේ අයට විභාග තිබුණා. සමහර වෙලාවට කාල කළමනාකරණය කරන්න ඒ අය මහන්සි වුණා. ඒගොල්ලෝ ප්‍රධාන අහාරවේල් ගත්තේ යන එන ගමනේදී.නමුත් මම දැක්කා ඒ දරුවෝ ඒ වැඩේ හරියටම කළා. අද ඒ මහන්සියේ ප්‍රතිඵල හැමෝටම තියනවා. එම ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් සහ පුහුණුකරුවන්ගේ පීඩනයත් සාර්ථකව අපිට කළමනාකරණය කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ක්‍රියාන්විතයට නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණාතිලක මහත්මියගේ ලොකු දායකත්වයක් තිබුණා. ඒවගේම විභාග දෙපාර්තමේන්තුව, අපේ නිලධාරීන්, ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට සහ ක්‍රීඩා අමාත්‍යාංශයටත් ස්තූතිවන්ත වෙනවා’’ යි කියා සිටියේය.   චතුර රණසිංහ
 

More News..