brand logo

සාග් ගිය තුන්ප්‍රයාම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් ‘ගලවා ගනියි’

18 December 2019

නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා තුන්ප්‍රයාම කණ්ඩායම ඒ ඒ ඉසව් සඳහා භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් නැවත ලබාගත් පුවතක් පිළිබඳව ‘අරුණ’ට වාර්තා වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් පවා සඳහන්කර තිබුණු අදාළ ක්‍රීඩා ඇඳුම් මෙසේ නැවත ලබා ගැනීමේදී බලධාරීන් පවසා ඇත්තේ එම ඇඳුම් අදාළ සංමයේ නිලධාරියෙකුගේ පුද්ගලික මුදලින් ලබාදුන් ඒවා බවත්, එනිසා නැවත ලබාගන්නා බවත්ය. ඒ හේතුවෙන් තුන්ප්‍රයාම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයින් තරගාවලිය අවසන් වීමෙන් පසුව ක්‍රීඩා ඇඳුම් භාර දී තිබුණු අතර ඇතැම් සාමාජිකයින්ගෙන් තරගය අවසන් වූ වහාම එම ඇදුම් ගලවාගෙන ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ. මෙවර ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ තුන්ප්‍රයාම කණ්ඩායම සඳහා කිසිදු මූලික පහසුකමක් හෝ සැලසීමට එකී සංගමය කටයුතුකර නොතිබුණු අතර ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගි වී තිබුණේ කුලී පදනම මත ලබාගත් පාපැදි වලිනි. මොවුන් සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් සපත්තු දීමනාව පමණක් ලැබුණු බවට තතු දත් උදවිය පවසති. එවන් වටපිටාවක් යටතේ උවද, ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එම අංශයෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්ව තිබේ. කෙසේ නමුත් එසේ දිනාගත් පදක්කම් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබාදෙන මූල්‍ය පරිත්‍යාගයේ පුහුණුකරුවන් වෙනුවෙන් ලබාදෙන මුදල ඩැහැ ගැනීමටද එහි බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ. ගයාශාන් විතානආරච්චි
 

More News..