brand logo

ස්වීඩනයේ සිට ජපානයට අශ්වයන් පදින්න එන ලංකාවේ ඉපදුන මැටිල්ඩා

23 July 2021

ශ්‍රී ලංකාවට අශ්වාරෝහක ක්‍රීඩාව එතරම් හුරුපුරුදු නොවුණත් මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක්, ශ්‍රී ලාංකීය ධජය අතැතිව එම තරගයට ඉදිරිපත් වීම සමහර විට ඔබ පුදුමයට පත්වන කරුණක් විය හැකියි. නමුත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන ප්‍රථම අශ්වාරෝහක ක්‍රීඩිකාව මෙවර ටෝකියෝහිදී හමුවනු ඇත. ඇය මැටිල්ඩා කාර්ල්සන්. ලංකාවේ ඉපදුණත් ස්වීඩනයේ හැදී වැඩෙන මැටිල්ඩා සමග ඔලිම්පික් යාමට මොහොතකට පෙර ‘පිනිපලස’ කතාබහ කළා.

ඔබේ සම්පූර්ණ නම මොකක්ද?

මම මැටිල්ඩා කාර්ල්සන්.

මාව හදාවඩා ගත් ස්වීඩනයේ දෙමාපියන් කිව්වා මම ඉපදුණේ ලංකාවේ මහනුවර කියලා

ඔබ දැනට ජීවත් වෙන්නේ?

මම දැනට ජීවත් වෙන්නේ ස්වීඩනයේ. නමුත් මාව හදාවඩා ගත් ස්වීඩනයේ දෙමාපියන් කිව්වා මම ඉපදුණේ ලංකාවේ මහනුවර කියලා. ඇත්තටම කියනවා නම් මම ඉපදිලා හරියටම මාස 3කින් වගේ තමයි මාව මගේ ස්වීඩනයේ දෙමාපියන් එක්ක යන්නේ.

ලංකාවේ දෙමාපියන් ගැන ඔබ දන්නෙ නැද්ද?

නෑ, මම ලංකාවේ දෙමාපියන් ගැන කිසිවක් දන්නේ නෑ.

ඔබ අද වනවිට ලංකාව නියෝජනය කරන්නට ඔලිම්පික් වරම් දිනපු ක්‍රීඩිකාවක්...

ඇත්තටම ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. එක් අතකින් එය මගේ ජීවිතයේදී මම ලබපු ජයග්‍රහණයක් කිව්වොත් නිවැරදියි.

මම ටෝකියෝ යනවා කියලා දැන ගත්ත ගමන්ම පුදුම සතුටක් දැනුණා

ඔබ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබුවා කියලා දැන ගන්න අවස්ථාවේදී මොන වගේ හැඟීමක්ද දැනුණේ?

මේ පණිවිඩය මට ලැබෙන්නේ 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා නව වසර උදාවෙද්දීම. මට අදහා ගන්න බැරිවුණා මේ පණිවිඩය ලැබුණාම. හිතේ පුංචි විශ්වාසයක් තිබුණා, ඒත් මම ටෝකියෝ යනවා කියලා දැන ගත්ත ගමන්ම පුදුම සතුටක් දැනුණා. ඒ සුබ පණිවිඩය නව වසරේදී ශ්‍රී ලාංකිකයන්ටත් තිළිණ කරන්න මට හැකි වුණා.

ඔබට ටෝකියෝ වරම ලැබෙන්නේ කොහොමද?

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ප්‍රදර්ශන පැනීම, ඇඳුම් ඇඳීම සහ තරග ඉසව්ව යන අංශ තුනක් සඳහා ස්ථාන 200ක් වෙන් කර තිබෙනවා. නමුත් මේ ස්ථාන 200න් 15ක් වෙන් කර තියෙන්නේ කිසිදු කණ්ඩායමක් නියෝජනය නොකරන තනි ප්‍රදර්ශන පනින්නන් සඳහා. මෙම පුද්ගලයන් තෝරා ගනු ලබන්නේ එෆ්.ඊ.අයි. FEI ඔලිම්පික් ශ්‍රේණිගත කිරීමෙනි. ගිනිකොණදිග ආසියාවෙන් සහ ශ්‍රී ලංකාව ඇතුළු ඕෂනියා කලාපයටම වෙන්ව තියෙන්නේ ඒ තනි ස්ථානවලින් දෙකක් විතරයි. මගේ තරගවලදී මම ලබපු ප්‍රසාද ලකුණුවලින් මම ඒ අවස්ථා දෙක අතරට සුදුසුකම් ලැබුවා.

මෙවර ඔලිම්පික් සුදුසුකම් ලබන්න අධිකරණයටත් යන්න සිද්ධ වුණා

ඔබේ ටෝකියෝ වරම ලබාගන්න උසාවියටත් ගියා නේද?

ඔව්. පසුගිය වසරේදී ලෝක අශ්වාරෝහක සම්මේලනයෙන් මගේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ගැටලුවක් ගැන සඳහන් කරලා ඔලිම්පික් වරම අහිමි කළා. ඒ මම ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ලකුණු සම්පූර්ණ කරන්නට තරග වැදුණු තරග කිහිපයක නීතිමය තත්ත්වය සහ වලංගුභාවය සම්බන්ධයෙන් ඇති ගැටලු කිහිපයක් නිසා. නමුත් එය බේරුම් කරගන්න අධිකරණය දක්වා රැගෙන යන්න සිද්ධ වුණා. අවසානයේ මා නිවැරදි වුණා. නැවතත් මට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෝකියෝ යන්නට වරම් ලැබුණා.

ටෝකියෝ ඔලිම්පික්වලදී ඔබට මොන වගේ බලාපොරොත්තුද තිබෙන්නේ?

මං හොඳින් සූදානම් වෙනවා, ටෝකියෝවලදී වෙනසක් කරන්න. අවසන් වටය වෙනකල් ඇවිත් පදක්කමක් දක්වාම මගේ ගමන ගෙනියන්න. ඒ වෙනුවෙන් ඉවසිලිවන්තව මම අවුරුදු 2ක් බලන් හිටියා.

ස්වීඩනයේදී කුඩා කාලයේදීම අශ්වයන් පදින්න පුරුදු කරනවා

ඔබ මේ ක්‍රීඩාවට එන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ දරුවන් කුඩා කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කරන්නට හෝ පිටියට යනවා වගේ ස්වීඩන් දරුවෙකුට අශ්වයන් පැදීම කුඩා කාලයේ සාමාන්‍යයි. මමත් සාමාන්‍ය ස්වීඩන් දැරියක වගේ ඒ විදිහට අශ්වයන්ට ආදරය කරන්න පටන් ගත්තා. බොහෝවිට මගේ විවේකය ගෙවෙන්නේ අශ්වයන් හා පෝනියන් එක්ක. සෑම කුඩා දැරියක්ම වගේ ස්වීඩනයේ අශ්වයන් පැදීමේ පාසලකට යනවා. මමත් එහෙම පාසලකට ගියා. කාලයක් යද්දී මට ඒ අයව දැනෙන්න ගත්තා. උනන්දුවත් එන්න එන්නම වැඩි වුණා. පස්සේ කාලේදී මම වෘත්තීමය සංදර්ශන පනින්නියක (Show jumper) බවට පත්වුණා.

බිලියනයකට වඩා වටිනා අශ්වයෝ 15 දෙනෙක් මා ළඟ ඉන්නවා

ඔබ තරග වදින අශ්වයාගේ නම මොකක්ද?

ඇත්තටම අශ්වයන් කිහිපදෙනෙක්ම මම තරග සඳහා යොදා ගන්නවා. ඒ අතරින් ඔලිම්පික් වරම් ලැබුවේ චොපි කියන අශ්වයාත් එක්ක. ඔලිම්පික් වරම් ලබන්න මාස කිහිපයක් තියෙද්දී එයා අසනීප වුණා. ඒ වගේ අශ්වයෙක් අසනීප වෙද්දී මට හරිම හිතට වේදනාවක්. අවසානයේ එයා මාස කිහිපයකින් නැවත පිටියට ඇවිත් මට ඔලිම්පික් වෙනුවෙන් සුදුසුකම් අරන් දුන්නා. චොපිට දැන් වයස අවුරුදු 10ක්. එයා ‘ස්ටැලියන් හොල්ට්ස්’ ගණයේ කෙනෙක්. මේ වගේ සාමාන්‍ය අශ්වයකු යූරෝ මිලියන 6ක් විතර වෙනවා. ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් විතර වෙනවා. ඒ වගේ අශ්වයන් 15 දෙනෙකු මගේ ළඟ ඉන්නවා.

අශ්වයන් වර්ග තිබෙනවද?

ඔව්, අනිවාර්යයෙන්ම. තරග සඳහා යොදා ගන්නා අශ්වයන් වර්ග ගණනක් ඉන්නවා. අරාබි අශ්වයන්, මෝගන් අශ්වයන්, ඇමරිකානු අශ්වයන් වගේ ගොඩක් මාදිලියේ අශ්වයන් ඉන්නවා. ඒ අතරේ මගේ චොපි කියන අශ්වයා ලෝකයේ වේගවත්ම අශ්වයන් කිහිප දෙනා අතර ඉන්නවා.

ඔබේ දෙමාපියන්ට සහ ඔබ වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ලාංකිකයන්ට ඔබට කියන්නට දෙයක් තිබෙනවද...

මම ඉපදුණෙ ලංකාවේ. නමුත් මාව බලාගත් දෙමව්පියන් මට ගොඩක් ආදරෙයි. මට ආදරණීය දෙමාපියන් ලැබුණ එක මට සතුටක්. අද මං මෙතැන ඉන්නේ ඒගොල්ලෝ නිසා. මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා මාව මෙතැනට ගෙනාවට. මට කවදාවත් මගේ ශ්‍රී ලංකාවේ දෙමාපියන්ව හමුවෙලා නෑ. නමුත් මම ශ්‍රී ලංකාවට ආදරෙයි. මගේ බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එක. මම ඒ වගකීම වෙනුවෙන් මගේ උපරිමය කරනවා. චතුර රණසිංහ
 

More News..