brand logo

ස්වසන රෝගීන්ගේ විශාල අඩුවක්

08 June 2020

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ජනතාව මුඛ  ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ස්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් ඉහල වායු දුෂණයක් පවතින මහනුවර නගරය  ආශ්‍රිතවද මෙම සුවිශේෂී තත්වය දක්නට ලැබෙන බවත් ශ්‍රී ලංකා ස්වසන රෝග  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය  සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි. මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරක්  බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ  ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවත් ඒ මහතා කීය. ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය,ශ්‍රී ලංකා ස්වසන  රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය,සිප්ලා(Sipla)ආයතනය,රතුකුරුස  සංවිධානය එක්ව (08)මහනුවරදී සංවිධානයකර තිබූ වැඩසටහනකදී  මැදගෙදර මහතා මේබව පැවසුවේය. මෙම කාලය තුල ස්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට හා විශේෂයෙන්  රෝගී දරුවන්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීමත් ඉතා අඩු මට්ටමක  පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් ඒ මහතා කීවේය. මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත්  අදහස් දැක්වූ ඒ මහතා කර්මාන්ත ශාලා,පාසැල්,පෙර පාසැල්,රාජ්‍යය ආයතන  වසා දැමීමත් වාහන ධාවනය අවම වීමත් නිසා පරිසරට දූෂණය සැලකිය යුතු  ලෙස පහත වැටී තිබෙන බවත් රට සාමාන්‍ය අතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. හෘද හා පෙනහළු රෝග ඉහළ යෑම සහ පරිසර දූෂණය අතර මනා  සම්බන්ධතාවක් තිබෙන බවත් පරිසරය ආරක්ෂාකර ගැනීම යනු එක් පැත්තකින්  රෝග වලින් ආරක්ෂා වීමක් බවත් ඒ මහතා කීය. මෙවර පරිසර දින තේමාව ජෛව විවිධත්වය රැක ගනිමු යන්න  බවත්සතුන්,ගහකොළ,පස,වායුව ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකම බවත් කී විශේෂඥ වෛද්‍යවරයා පරිසර තත්ත්වයන් වෙනස්වන විට ඊට අනුගත වීමට අසීරුම සත්ත්වයා මිනිසා බවද අවධාරණය කළේය. ඉන්දියායේ දිල්ලි නුවර,චීනයේ බීජිං නුවර වායු දූෂණය ඉහළම නගර බවත්  මෙම නගර වල වායු ගෝලයේ ශරීරයට අහිතකර වායු අංශ ඝනත්වය ඉතා ඉහළබවත් ඒ මහතා කීය. සිප්ලා ආයතනයේ ස්වසන රෝග අංශ ප්‍රධානී කළණ ඇරෑගොඩ මහතා කතා  කරමින් ස්වසන රෝගීන් බහුලව භාවිත කරන ඉන්හේලර් යන්ත්‍ර භාවතයෙන්  පසු සාමාන්‍ය පරිසරයට මුදා හැරීම ඉතා අවධානම් බවත් මේ නිසා  ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භකර තිබෙන බවත් පැවසුවේය. මෙම ඉන්හේලර් යන්ත්‍ර බැහැර කිරීම සඳහා ස්වසන රෝගීන්ට ප්‍රතිකාර  කෙරෙන රෝහල් වල සහ ඖෂධ අළෙවි සැල් අසළ ප්‍රතිචක්‍රීකරණ බඳුන්  ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා කීය.  
 

More News..