brand logo

ස්වර්ණපාලි බාලිකාවියන්ගේ ආදරණීය ට්‍රැෆික් මාමා

19 January 2019

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් පිවිසුම පොලිස් සැරයන් සුජිත් ප්‍රසන්නට ( 27976) නුපුරුදු තැනක් නොවේ. වසර තුනහමාරක් තිස්සේ මේ බාලිකාව ඔහු දැක්කේය. බාලිකාවේ දැරියන් ගුරුවරුන් ඇසුරු කළේය. මේ කාලය පුරාවටම ඒ සියල්ලෝම සුජිත් හා බොහෝ සුහදත්වයෙන් කටයුතු කළෝය. පසුගිය සිකුරාදා ද පොලිස් සැරයන් දේවේන්ද්‍ර ආරච්චිලාගෙ සුජිත් ප්‍රසන්න විජේසිංහ සුපුරුදු පරිදි උදෑසන රාජකාරිය සඳහා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් ප්‍රධාන පිවිසුම ආසන්නයේ පදික මාරුවේ රාජකාරි සඳහා ගියේය. ඔහු එහි යනවිටත් ඔහු විසින්ම පුහුණු කරන ලද පාසල් ශිෂ්‍යාවන්ගේ මාර්ග රාජකාරි සහායක කණ්ඩායම සුජිත්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවූහ. අනතුරුව ඔහු දැරියන් හා එක්ව කහ ඉර මතින් පාසල කරා යන හැමටම මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් හැමටද සුබ උදෑසනක් පතමින් ආචාරශීලිව සුපුරුදු රාජකාරිය කරන්නට ගත්තේය. විනාඩියෙන් විනාඩිය ගෙවී උදෑසන හතයි කාල වූවා පමණි. ස්වර්ණපාලි බාලිකා විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම පැමිණ සුජිත් ළඟ නැවතුණේය. " ට්‍රැෆික් මාමේ අපේ ඉස්කෝලේ ඔබ වෙනුවෙන් උපහාර උත්සවයක් තියෙනවා. ඒ හින්දා අපිත් එක්ක ඉස්කෝලෙට යමු " දැරියන්ගෙ ආරාධනාව මොකද්දැයි එක්වරම ඔහුට සිතාගන්නට බැරිවුණේය. ඒ සමග විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලයද ප්‍රධාන පිවිසුම අසලට පැමිණ පාසල් භූමියට එන ලෙසට ඔහුට ආරාධනා කළහ. ඒ නිසා සැරයන් සුජිත් ප්‍රසන්නට තවත් හිත හිත ඉන්නට වෙලාවක් නොවුණි. ඔහු පාසලට යන්නට පෙරමුණ ගන්නා විට පැමිණ සිටි තූර්ය වාදක කණ්ඩායම වයමින් ඔහුව පෙරහරෙන්ම ප්‍රාථමික අංශයේ රැස්වීම් ශාලාව වෙත කැන්දාගෙන ගියේය. එහි වේදිකාවේ වූ අසුන් පෙළේ ප්‍රධාන අසුනක් ඔහු වෙනුවෙන් වෙන්ව තිබුණි. සැරයන් සුජිත් එහි අසුන් ගත්තාට පසු වේදිකාවට නැගුණු ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය සී.එන්.කේ දිසානායක මහත්මිය එහි සිටි හැමෝවම ඇමතුවාය. “අපේ ට්‍රැෆික් මහත්තයා මාරුවක් ලැබිලා තව දින කීපයකින් යාපනයට යන බව අපට දැනගන්නට ලැබුණා. මෙතෙක් කලක් අපේ දරුවන්ටත් අපටත් ඉතාම ප්‍රියමනාප සේවාවක් ලබාදුන්නු ට්‍රැෆික් මහත්තයාට විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ගෞරවය උපහාරය දක්වන්නයි අප එතුමාව මේ කැඳවාගෙන ආවේ” ප්‍රාථමික අංශ විදුහල්පතිනියගේ පුංචි කතාව ඇසෙද්දී සිද්ධවෙන දේ ගැන සැරයන් සුජිත්ට ඉඟියක් ලැබුණි. ඒ සමගම වේදිකාවට පැමිණියේ ස්වර්ණපලි බාලිකාවේ 4 ශ්‍රේණියේ ඉගෙනගන්නා කේ.ඒ. එරූෂා ඔලිනි දයාරත්න දියණියයි. “සුබ උදෑසනක් වේවා ඔබ සැමට. විදුහල්පතිතුමියන්ගෙන්ද, ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන්ද, දයාබර සොයුරියන්ගෙන්ද , අපේ ට්‍රැෆික් මාමාගෙන්ද අවසරයි. ට්‍රැෆික් මාමේ .... මට මාමා දකින විට ගුරුතුමිය කියාදුන්න පුංචි කවියක් මතක් වෙනවා දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. ඉතින් මාමේ මං උදේ ඉස්කොලේ එනවිටත් නැවත පාසල ඇරී යන විටත් ඔබගේ දෑතට සහ කටට කිසිම නිදහසක් නැති බව මම හැමවෙලේම දුටුවා. ඔබගෙ රාජකාරිය කිරීමට ඔබ මහත් වෙහෙසක් දැරුවා. එනිසා අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්වත් නංගී කෙනෙක්වත් කිසිම අනතුරකට පත් වුණේ නෑ.ඒ නිසා ඒ පින ඔබට ඒකාන්තයෙන්ම ලැබෙන බව මට විශ්වාසයි. අපි ඔබට ණය ගැතියි. අපේ පාසල වෙනුවෙන් අපිව බලා ගත්තාට අපි ඔබට දීර්ඝායුෂ පතනවා.” වසර විසි ගණනක පොලිස් සේවයේදී කොතැනකදිවත් තමන් නොලද තමන්ට අසන්නට නොලැබුණ මේ කතාව හා අවස්ථාව නිසා සැරයන් සුජිත් ප්‍රසන්නගේ දෙනෙත කඳුළෙන් පිරුණේය. තමන් ඉතා ගෞරවයෙන් හා වුවමනාවෙන් කළ රාජකාරිය නිසි ලෙස තවත් පිරිසක් දැක තිබීම ගැන ඔහුගේ හිතට පුංචි සතුටක් දැනුණේය. 2016 ජනවාරි 01 වැනිදා සිට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල ඉදිරිපිට රථවාහන රාජකාරියට පැමිණි සැරයන් සුජිත් වසර තුනක් තිස්සේ එම රාජකාරිය නිසිලෙසම ඉටු කළේය. වසර තුනකට පසු ඔහුට අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ස්ථාන මාරුවීමක් ලැබුණේය. ඒ යාපනේටය. සිසුවියන් 4500ක් පමණ ඉගෙනගන්නා කීර්තිමත් විද්‍යාලයක් වන අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් මේ උත්සවය සංවිධානය කළේ ඔහු බාලිකාවේ ප්‍රධාන පිවිසුම ළඟ පදික මාරුවේ මෙතුවක් කලක් කළ සේවයට උපහාර දැක්වීමට සහ ඔහුගෙන් සමුගැනීමටය. මේ පුංචි උත්සවයට එක්වූ ප්‍රාථමික අංශයේ සිසු දැරියන්වත්, විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන්වත් ඇමතීමට සුජිත් ප්‍රසන්නටද ආරාධනයක් ලැබුණේය. කිසිදු පෙර සූදානමක් නැතිව රාජකාරිය අතර මැද ලද අවස්ථාවක් වුවත් සැරයන් සුජිත් ප්‍රසන්න අනපේක්ෂිත මොහොතක ලැබුණු පිරිසිදු අගය කිරීම වෙනුවෙන් තෙත්වූ හදවතින්ම වේදිකාවට නැගුණේය. “ මම ගියාට මටත් වඩා හොඳ පොලිස් අංකල් කෙනෙක් මගෙ දුවලට ගේට්ටුව ළඟට ලැබේවි... ... .." සැරයන් සුජිත්‍ට කියාගන්නට පුළුවන් වූයේ ඒ වචන පෙළ පමණි. මේ මොහොත දරා ගත නොහැකිව ඔහු හැඩුම්බර වුණේය. “ මගෙ දුවලා මා විසින් කියා දුන් පරිදි මාර්ගයේ ගමන් කිරීම හා තමන්ටත් අනුන්ටත් අනතුරක් නොවන පරිදි හැසිරිම මතක තියාගන්ට ඕනෑ. මගෙ දුවලාට ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිටයි.” අපහසුවෙන් වුවත් සුජිත් මේ හෘදයාංගම පුංචි දැරියන් වෙනුවෙන් වචන කීපයක් කතා කළේය. ඒ නිමාවත් සමගම මොහොතකින් එළඹියේ යළිත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ ප්‍රාථමික අංශ ආචාර්ය මණ්ඩලයෙන් ඔහුට ත්‍යාග කීපයක්ම ලැබීමයි. අනතුරුව සමනලියන් සේ පුංචි දැරියන් වේදිකාවට දිව එන්නට ගත් හ. “ට්‍රැෆික් මාමේ “ ඔවුන් එක්ව නැගූ හඬ පාසල් භූමිය පුරා රැව් දුන්නේය. ඒ හැම දැරියක් අතම ඔවුන්ගේ ආදරණීය ට්‍රැෆික් මාමාට දෙන්නට මොකක් හෝ තිළිණයක් විය. ලස්සනට හැදූ මල් කළඹ, පෑන්, පැන්සල් එතූ කවර, පැන්සලකින් ලස්සනට ඔවුන්ගෙ ට්‍රැෆික් මාමා ඇඳි චිත්‍ර, බිත්ති සැරසිලි, සුබ පැතුම් පත් වැනි පුංචි පුංචි තෑගි කන්දරාවකින් සැරයන් සුජිත්ගේ දෑත් පිරුණා පමණක් නොව ඔහුගේ උසට තෑගි කන්දරාවක් මේසය මත ගොඩ වුණේය. ස්වර්ණපාලි බාලිකාවන් කවුරුත් සැරයන් සුජිත් ගේ නම දැන සිටියේ නැත. එසේම ගුරුවරුන් දැන සිටියේද නැත. එක්කො නම දැන සිටියත් ඔවුන් කිසිවෙක් භාවිත කළේ නැත. ආචාර්ය මණඩලය ඔහුව අමතන ලද්දෙ අපේ ට්‍රැෆික් මහත්තයා කියාය. සිසුවියන් හැමටම ඔහු ට්‍රැෆික් මාමා හෝ ට්‍රැෆික් අංකල්‍ වුණේය. ප්‍රාථමික අංශයෙන් ලද ඒ සොඳුරු ඇගයීමෙන් අනතුරුව සැරයන් සුජිත් පාසල් බිම හරහා යළි මාර්ගයට ඇවිද එන්නට ආවේය. යළිත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. පාසල් බිමේ වූ පන්තිකාමර වල සිටි පුංචි දැරියන් පන්ති කාමරවලින් එළියට පැන දිවවිත් සැරයන් සුජිත්ගේ දෙපා වඳින්නට ගත්තෝය. "බුදු සරණයි.. බායි ට්‍රැෆික් අංකල් .. ආයෙ එන්න අපිව බලන්න... " ඔවුන්ගේ සමුගැන්ම ‍යළිත් සුජිත්ගේ දෑස් තෙත් කළා පමණක් නොව පපුවත් සිර කළේය. සැරයන් සුජිත් ප්‍රසන්න විජේසිංහ ස්ථාන මාරුවක් ලැබ යාම ස්වර්ණපාලියේ කාගෙත් හිත සොලවන්නට සමත්වූයේ ඔහු ඉතාමත් හොඳින් අවංකව රාජකාරිය කළ නිසාය. ඔහුට මාරුවක් ලද පුවත බාලිකාව දැනගන්නේ ඒ බැව් ඔහු කිසිවෙකුටත් කියා නොවේ. සුජිත්ගේ දියණිය ඉගෙන ගන්නේද ස්වර්ණපාලී බාලිකාවේ ප්‍රාථමික අංශයේය. ඔහු මාරු කර ඇති පුවත කවුරුත් දැනගන්නේ ඒ දියණිය හරහාය. ප්‍රාථමික අංශයේ උපහාර උළෙල දිනෙන් පසු සැරයන් සුජිත් බලාපොරොත්තු නොවූ තවත් දෙයක් සිදුවිය. ඒ ඔහුට ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ විදුහල්පතිනී රමණි වාසල මහත්මියගෙන් විශේෂ ආරාධනාවක් ලැබීමයි. විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය 14 වැනිදා උදෑසන සංවිධානය කර තිබූ උපහාර උත්සවයකට බිරිඳවත් සමගම ඔහුට ආරාධනාවක් ලබුණේය. අනුරාධපුරයේ දිස්ත්‍රික් බාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ හා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද දැනුවත් කර ඒ උත්සවය ඔවුන් සංවිධානය කර තිබුණි. එදා උදයේ පාසල් පිවිසුමේදී විදුහල්පතිනිය විසින් මල්කළඹක් දී සුජිත් ප්‍රසන්න හා බිරිඳ පිළිගත් අතර පාසල් බිම දෙපස මගේ සිටි දහස් ගණනක් ස්වර්ණපාලි බාලිකාවියන්ගේ සුබ පැතුම් මැදින් තූර්ය වාදන නාද මධ්‍යයේ ඔහුත් බිරිඳත් රැස්වීම් භූමියට පැමිණියහ. උත්සවයේදී ඇගයීම් කතා මෙන්ම පාසලින් පිදුණු උපහාර සමරු තිළිණයක් ද සමග තවත් ත්‍යාග රැසක් ද සැරයන් සුජිත් ප්‍රසන්නගේ දෝතට ලැබුණේය. "අපේ ට්‍රැෆික් මහත්තයාගේ මාරුවීම දැනගත්තම අපි ඒ මහත්තයා එක්ක කතා කළා පාසල මැදිහත්වෙලා ඒ මාරුව අවලංගු කර දෙන්න. ඒත් ඒ මොහොතේ ඒ මහත්තයා ඊට අකැමැති වුණා. ඊට හේතුව විදිහට ඔහු කිව්වේ වටිනා කතාවක්. ' එපා මැඩම්, මේක අපේ රාජකාරියනේ. මම පොලිසියට බැඳෙන මොහොතේ රටේ ඕනම තැනක සේවයට එකඟ වුණා. ඉතින් කොහේ ලැබුණත් මම මට ලැබෙන රැකියාව කරනවා. .." ඒ උළෙල අතරතුරේ ස්වර්ණපාලි බාලිකා විදුහල්පතිනිය හෙළිකළේ වැඩි දෙනෙකු නොදැන සිටි රහසකි. " අද පොලිසිවලට ඕන ට්‍රැෆික් නිලධාරියා වගේ නිලධාරීන්. ඔහු අද දුරක රාජකාරියකට යන බව දැන ගත්තම අපේ සහෝදරයෙක් දුරක යනවා වගේ හැඟීමක් අපට දැනුණේ. අපේ එකම දුවෙක්ටවත් වාහනයකින් කිසිදු අනතුරක් වෙන්න ඉඩ නොතබා හැමදාමත් උදේ හවස රාජකාරි කළ ඔහුගේ හිනා මුහුණ දැක්කම කාටත් දැනුණෙ ප්‍රබෝධයක්. ඔහු දුරක යාම අපේ දියණිවරුන්ට විශාල කනගාටුවක්. ." ඒ ඇගයීම් කතාව වූයේ ස්වර්ණපාලියේ නියෝජ්‍ය විදුහල්පති පරිපාලන අශෝක ගුණතිලක මහතාගෙනි. සැරයන් සුජිත්ගේ මුවින් සුබ උදෑසනක් සහ සුබ සන්ධ්‍යාවක් යන වචන දෙක දිනකට දහස්වාරයක් කියවුණේය. ඒ සුබ පැතුම ස්වර්ණපාලි බාලිකාවන්ට ගුරුවරුන්ට හා කාර්ය මණ්ඩලයට පමණක් නොවේ. ඔහු ළඟින් යන එන කාටත් ඒ සුබ පැතුම් ලැබුණේය. ඒ ද කිසිදු වෙහෙසක් නොපෙන්වා සිනාමුහුණෙනි. පාසල් ඇරී නිවසට යන දියණිවරුන්ට තම පාසල් වාහන සොයා ගැනීමේදීත් එසේ වාහන මග හැරුණු දිනයන්හිත් දෙමාපියන්ට දියණියන් රැගෙන යන්නට එන්නට පමා වූ අවස්ථාවලත් ඔහු වහාම දුරකථන මාර්ගයෙන් ඒ දියණිවරුන් වෙනුවෙන් ආරක්ෂාව, රැකවරණය සැලසුවේය. එමෙන්ම ඔහු සේවයේ සිටි කාලය තුළදී මේ ස්ථානයේ රිය අනතුරු කිසිවක්ම සිදුවී නැත. මේ ලෙස ප්‍රසිද්ධ බාලිකා පාසලකින් උපහාර උත්සව දෙකක් ලැබූ සුජිත්ගේ ගම මහනුවර කඩුගන්නාවය. 1971 ජනවාරියේ ඉපදී ඇති සුජිත් කුඩා කලදීම දෙමව්පියන් හා මිහින්තලේ මහකනදරාව යාය දෙක ප්‍රදේශයට පැමිණ ඇත. යාය 2 ගැමුණු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුජිත් සහෝදරියන් සිව් දෙනෙකුට ලොකු අයියා වී සිටියේය. 1990 වසරේ කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී ඇති සුජිත් විවාහකයෙකි. ඔහු පුතෙකුගේ හා දියණියකගේ ආදරණීය පියෙකි. පොලිස් පුහුණුවෙන් පසු ඔහු හොරොව්පතාන, කැකිරව, දඹුල්ල , වව්නියාව, මන්නාරම යන පොලිස් ස්ථානවල සේවය කර තිබේ. එමෙන්ම යුද්ධය පැවති අවදියේ ඔහු මන්නාරම හා වව්නියා පොලිසිවලට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියට මාරුවීම ලැබුණාට පසු මහකනදරාව යාය 2 සිට සුජිත් හැමදාමත් කිලෝමීටර් 20 ක දුරක් ගෙවා උදේ හවා අනුරාධපුරේ වැඩට පැමිණියේය. ඔහුගේ රාජකාරි අතරේ උදෑසන 6.30 සිට 8.00 දක්වාත් සවස 1.00 සිට 2.00 දක්වාත් ස්වර්ණපාලි බාලිකාව ඉදිරිපිට පදික මාරුවේ රාජකාරිය නියමිත විය. පොලිස් සැරයන් සුජිත් ප්‍රසන්න විජේසිංහ ස්වර්ණපාලි දියණියන්ගේ ට්‍රැෆික් අංකල් වන්නේ එහෙමය. එහෙම සිටි ට්‍රැෆික් අංකල් මාරුවී යෑම ඔවුන්ට දරාගන්නට නොහැකිවීමත් පුදුමයක් නොවේ. මේ ඔහුට ලද තෑගි අතරේ තිබූ ලිපියකි. "ආදරණීය ට්‍රැෆික් මාමා වෙත. මාමේ, ඔබ අපට කරුණාවෙන් කතා කළා. අව්ව වැස්ස ගැන නොසිතා, අපගේ ආරක්ෂාව සැලසුවා. ඒ කැපවීම විශිෂ්ටයි. මින්මතු අපගේ පාසල ළඟ මාමාගේ රුව දකින්නට නැති වුණත් good morning කියන මාමගෙ කරුණාවන්ත සිනහව අපට හැමදා මතක තියේවි. අපි ලොකු වුණාමත් කොහෙදී හෝ මුණ ගැහුණොත් මාමා එක්ක කතා කරන්නම්. ආදරණීය ට්‍රැෆික් මාමේ ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරමි. මෙයට පහන්‍යා තිසරනී නුමායා දුව, 5 ශ්‍රේණිය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය ඒ ප්‍රාර්ථනය පහන්‍යා දියණියගේ පමණක් නොවේ. සියලුම ස්වර්ණපාලි බාලිකාවියන්ගේ ප්‍රාර්ථනය වන බවට නම් සැකයක් නැත. සත්සරණී තෙන්නකෝන් ජයන්ත සුබසිංහ
 

More News..