brand logo

ස්මිත් වෙනුවෙන් ඔටුන්න දන් දෙන්න පේන් කැමැත්තෙන්

03 April 2020

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් යළිත් වරක් ජාතික කණ්ඩායමේ නායකයා වශයෙන් ඉදිරියට පැමිණීමට කැමැතිනම් ස්මිත්ට පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව වත්මන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් පවසයි. ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමක නායකයෙකු වශයෙන් කටයුතු කිරීමට ස්මිත්ට පනවා තිබූ වසර දෙකක කාලය අවසන් වී තිබීම හේතුවේ පේන් එසේ අදහස් දක්වා තිබිණි. 2018 වසරේ දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ කැමරන් බ්‍රැන්කොෆ්ට් විසින් සිදුකළ පන්දුව පළුදු කිරීමේ සිද්ධියකට අදාළව බ්‍රැන්කොෆ්ට (මාස 9) අමතරව ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පනවනු ලැබිණි. එම තහනමට අමතරව ස්මිත්ට ජාතික කණ්ඩායමේ නායකත්ව භූමිකාව සිදු කිරීම සඳහාද වසර දෙකක තහනමක් පනවන ලදී. ඒත් සමගින් ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය ටිම් පේන්ට හිමි වූ අතර එක්දින නායකත්වය එරන් ෆින්ච් වෙත හිමි විය. ‘ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා සහ වේල්ස්හි ෆයර් කණ්ඩායමේත් නායකයා වශයෙන් ගෙවුණු සමයේ කටයුතු කළා. ස්මිත් තමාට යා යුතු ඉදිරි මාර්ගය පිළිබඳව තීරණය කළහොත් මම ඒ සඳහා ඔහුට පූර්ණ සහයෝගය ලබා දෙනවා’ යි ටිම් පේන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 17කට නායකත්වය ලබා දී තිබෙන 35 හැවිරිදි පේන් ඉන් තරග 10ක් ජයගෙන තරග 6ක් පරාජය වී තිබෙන අතර එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන්කරගෙන ඇත.
 

More News..