brand logo

ස්මාර්ට් ෆෝන් සොරකම් ගිය පවුලම අත්අඩංගුවට

07 February 2022

දරුවො දෙන්නා සාපෙළ ඉහළින්ම සමත්

බිබිල නගරයේ බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති ජංගම දුරකතන අලෙවි සලකින් රුපියල් එක් ලක්ෂ පනස්අට දහසක් වටිනා ජංගම දුරකතන හයක් හා විදුලි පන්දමක් සොරාගත් හතළිස්හත් හැවිරිදි කාන්තාවක් හා ඇගේ දරුවන් දෙදෙනා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීහු අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී සැකකරුවන් සොරාගෙන ගොස් තිබූ ජංගම දුරකතන හයක් හා විදුලි පන්දමක්ද පොලිසිය සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාර මව හා දරු දෙදෙනා, මොනරාගල නක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව හඳුනාගෙන තිබේ. වෙළෙඳසලේ හිමිකරු දානමය පින්කමකට සහභාගි වීමට වෙළෙඳසලෙන් පිටවගොස් සිටි අවස්ථාවේ මෙම සැකකාර පවුල පැමිණ ජංගම දුරකතනයක සිම් කාඩ්පත පරීක්ෂා කර ගැනීමේ මුවාවෙන් වෙළෙඳසලට ඇතුළු වී තිබිණි. එහි සිටි වෙළෙඳ සහයිකාවට රහසින් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය පවසයි. මොවුන් සිදු කළ මෙම සොරකම වෙළෙඳසලේ සී. සී. ටී. වී කැමරාවේ පටිගතවී තිබිණි. මෙම මව හා දරු දෙපළ ප්‍රදේශයේ සිදුවූ වෙළෙඳසල්වල භාණ්ඩ සොරා ගැනීම් රැසකට සම්බන්ධ පවුලක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇත. මෙවුන් මීට පෙරද බිබිල හා මැදගම යන නගරවල ඇති ජංගම දුරකතන අලෙවිසල් දෙකකින්ද ජංගම දුරකතන සොරාගෙන පසුව ඒවා මුදලට විකුණා තිබෙන බවට සඳහන් වෙයි.

පොලිස් අත්අඩංගුවට පත් දැරිය මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියකි. ඇය සාමන්‍යපෙළ විභාගයේදී “ඒ’’ සාමාර්ථ අටක් සහිතව විභාගය ඉතා ඉහළින් සමත්ව ඇති බවට පොලිසීය පවසයි. එමෙන්ම මෙහිදී අත්අඩංගුවට පත් දැරියගේ සහෝදරයාද “ඒ’’සාමාර්ථ 07ක් සහිතව සාමාන්‍ය පෙළ සමත්ව තිබෙන බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

එන්. ඩී. එස්. බණ්ඩාර - බුත්තල කැලුම් ගුණතිලක - මොනරාගල
 

More News..