brand logo

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

13 October 2020

බංග්ලාදේශය තුළ එක දිගටම සිදු වූ ස්ත්‍රී දූෂණ කිහිපයකින් පසු පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ස්ත්‍රී දූෂණ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය සූදානම් වෙයි. ප්‍රධාන වශයෙන්ම කාන්තාවන් ගේ මෙහෙයවීමෙන් පැන නැගුණු විරෝධතා දැන් දින කිහිපයක් තිස්සේ ම ඉදිරියට යමින් තිබේ. ටික කලක සිටම ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසාවන්ට එරෙහිව විරෝධය පළ වෙමින් තිබුණත් වත්මන් විරෝධතා ව්‍යාපාරය පැන නැගුණේ පිරිමින් කණ්ඩායමක් කාන්තාවක සමූහ දූෂණයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන් ගැනීමත් සමග ය. ඉහත කී පිරිමින් කණ්ඩායම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක් කරමින් එම සිද්ධිය විඩියෝගත කර තිබිණි. පසුව එම විඩියෝව ප්‍රසිද්ධ කරන බව ට කාන්තාව බිය වද්දමින් ඇයගෙන් මුදල් ලබා ගැනීමටත්, ඇයට තවදුරටත් ලිංගික අතවර කිරීමටත් උත්සාහ කර ඇති බව සඳහන් වේ. කාන්තාව එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ විට ඔවුන් විඩියෝ ව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව අනාවරණය වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 8 දෙනකු පසුව අත්අඩංගුවට ගෙන තිබිණි. ‘ස්ත්‍රී දූෂකයන් එල්ලා මරව්’, ‘දූෂකයන්ට අනුකම්පාවක් එපා’ ආදි පුවරු රැගත් විරෝධතාකරුවන් මහත් ආවේගයෙන් යුතුව විරෝධතා දක්වන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. ‘ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වෙනුවට ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් අප සලකා බලමින් සිටිනවා’ බංග්ලාදේශයේ නීතිය පිළිබඳ අමාත්‍ය අනිසුන් හක් මාධ්‍ය සමග පවසා තිබිණි.   සහන් වික්‍රමගේ
 

More News..