brand logo

ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් පැමිණවීමට ගත් නව නීතිය

17 December 2020

ස්ත්‍රී දූෂණවලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා දැඩි දඬුවම් පැමිණවීම වෙනුවෙන් නව නීතියකට අත්සන් තැබීමට පාකිස්තාන ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මෙම නව නීතිය යටතේ ලිංගික අපරාධවලට සම්බන්ධ වරදකරුවන් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාමටද කටයුතු කරනු ඇත. මෙහිදී වින්දිතයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරනු ඇත. එමෙන්ම වරදකරුට රසායනික ක්‍රමවේදයක් හරහා ලිංගික අප්‍රාණිකත්වයට පත් කිරීමද මෙම නීතියට ඇතුළත් වේ. මෙවැනි නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමට නියමිතය. එම නඩු මාස 4ක් ඇතුළත විභාග කර අවසන් කිරීම එහි අරමුණය. මෙම නව නීති හඳුන්වා දීම සිදුවූයේ ලාහෝර් නගරයෙන් බැහැරදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමත් සමග මතුව ඇති විරෝධයත් සමගය. නගරය දක්වා වැටී ඇති මාර්ගයකදී එම කාන්තාව දූෂණයට ලක්ව ඇත්තේ ඇයගේ දරු දෙදෙනාද ඉදිරිපිටදීය. ඊට පසුදින ප්‍රකාශයක් කළ ලාහෝර් පොලිස් ප්‍රධානියා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දුරකට අදාළ කාන්තාවද වරදකාරී බවය. මෙම සාහසික අපරාධයට මෙන්ම පොලිස් ප්‍රධානියාගේ එම ප්‍රකාශයටද එරෙහිව රට පුරා විරෝධතා මතුවූ අතර වහා ක්‍රියාත්මක වන ලෙසට රජයට බල කෙරිණි. අගමැති ඉම්රාන් ඛාන් හා ඇමැති මණ්ඩලය මෙම නව නීතිය සම්මත කළේ ඉකුත් මසදීය. ජනාධිපති අරීෆ් අල්වි අඟහරුවාදා ඊට සිය අත්සන තැබීය. නව නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී සලකා බැලීමට දින 120ක් ලැබෙනු ඇත. එය නීතියක් ලෙස පාර්ලිමේන්තුව සම්මත කිරීමෙන් අනතුරුව එය බලාත්මක වනු ඇත. මෙම නීතියට එරෙහිව අදහස් දක්වන අයද සිටිති. ඔවුන් කියන්නේ එය බරපතළ වැඩි බව සහ එය රැගෙන ඒමේදි විශේෂඥ අදහස් සලකා බැලීමක් සිදුව නැති බවය. වෙනත් ඇතැම් රටවල් දැනටමත් මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව ඔවුන්ගේ ශරීරයේ ටෙස්ටස්ටෙරෝන් හෝමෝන සාන්ද්‍රණය අඩු කිරීම සඳහා කටයුතු කරයි. ඉන්දුනීසියාව එම ප්‍රතිපාදන සම්මත කළේ 2016දීය. පෝලන්තය 2009දී ළමයින් අපයෝජනයට ලක්කරන තැනැත්තන්ට එරෙහිව එය අනිවාර්ය කළේය. පසුගිය වසර ගණනාවක් තිස්සේ පාකිස්තානයෙන් මෙවැනි ලිංගික හිංසනයන් ඉහළ යාමක් දක්නට ලැබිණි. 2015 වර්ෂයේදී දුර බැහැර ගම්මානයකදී එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක්විය. එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නමුත් එවකට එය නතර කිරීම සඳහා රජය නීති සම්මත කර නොතිබිණි. ධම්මික සෙනෙවිරත්න
 

More News..