brand logo

සෆාරි ජීප් හිමියන්ට කොරෝනාවෙන් බැට

02 October 2020

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා දිවයින පුරා සෆාරි ජීප් රථ රියැදුරන් සහ ජීප් රථ හිමියන් හය දහසකට ආසන්න පිරිසකගේ ආදායම් අහිමි වී ඇති බව යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.පී. අජිත් ප්‍රියන්ත පැවසීය. යාල සහ බූන්දල වනෝද්‍යානවල සෆාරි සේවයේ යෙදෙන රථ එක්දහස් එකසීයක් පවතී. අර්බුදකාරී තත්ත්වය මත ඉන් 50-60ත් අතර ප්‍රමාණයක් මේ වනවිටත් විකුණා දමා ඔවුන් වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වී ඇති බව හෙතෙම කීවේය. වාහන සඳහා බැංකුවලින් ලීසිං සහන ලැබුණද පෞද්ගලික ලීසිං සමාගම්වලින් ඔවුන්ට සහනයක් නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව බොහෝ දෙනෙක් එම රථ නැවත ලීසිං සමාගම් වෙත භාරදී ඇති බවද ඔහු කීවේය. සභාපතිවරයා පවසන්නේ කතරගම, තිස්සමහාරාමය හා බූන්දල වැනි ප්‍රදේශවල පවුල් 3000 කට අධික සංඛ්‍යාවක් මෙම සෆාරි ජීප් රථ සේවා මගින් යැපෙන බවයි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ඒ.පී. අජිත් ප්‍රියන්ත මෙසේද කීවේය. "අපට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය තියෙනවා. එහි පුහුණුව ලබන 70ක් ඉන්නවා. ඒ පිරිසකටවත් සංචාරක සංවර්ධන අධිකාරියෙන් දුන්න සහනය ලැබුණෙ නෑ. අපි යාලට විතරක් දිනකට රුපියල් ලක්ෂ 25-30ත් අතර ආදායමක් ලබා දුන්නා. රජයට බරක් නැති කොටසක් සෆාරි සේවා සපයන්නේ. නමුත් මේ පිරිස ගැන අවධානය යොමු වෙලා නෑ. මෙතෙක් සංචාරක ක්ෂේත්‍රයට ලැබුණ සහන හා ආධාර සියල්ල ලොකු ව්‍යාපාරිකයන් වෙත ගියත් පොඩි පිරිසට ලැබුණෙ නෑ." ශිරන්තනි මානවඩු
 

More News..