brand logo

සහල් මිල යළි ඉහළට

16 October 2021

සහල් මිල වැඩිවීමෙන් වී මිලත් උස්සයි

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති. සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 165කටද දිවයින පුරා බෙදා හරින බවයි. එහෙත් ඊයේ(15) පස්වරුව වන විට වෙළෙඳ පොළේ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 දක්වාද සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 145 දක්වාද, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 175 දක්වාද මිල ඉහළ ගොස් ඇති බව අනාවරණය විය. ඊට සාපේක්ෂව වී මිල ද ඉහළ ගොස් ඇත. නාඩු වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 71 දක්වාද, සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 77 දක්වාද, කිරි සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 96 දක්වාද වැඩි වී ඇත. මහා පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන සහල් අඩු මිලට විකිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ සැප්තැම්බර් මස 28 වැනිදාය. එහෙත් සති දෙකක් තුළ සහල් හා වී මිල ඉහළ ගොස් ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සභාපති මුදිත පෙරේරා පෙන්වා දෙයි. මේ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියද පාරිභෝගිකයන්ගෙන් ලද තොරතුරු මත සොයා බැලීමක් සිදු කර තිබේ. එහිදීද අනාවරණය වී ඇත්තේ සහල් මිල ක්‍රම ක්‍රමයෙන් යළි වැඩි වන බවයි. සහල් මිල වැඩි වීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් කිලෝ ග්‍රෑම් හයදහසක් සිකුරාදා (15 වැනිදා) සිට ස.තො.ස. මගින් අලෙවි කිරීම ආරම්භ විය. මෙම සහල් තොගය සත විසි පහක බදු මුදලක් මත ලබා ගෙන රුපියල් 98 බැගින් පාරිභෝගිකයාට අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙලෙස වරින් වර ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. උදයජීව ඒකනායක
 

More News..