brand logo

සහල් මාෆියාවට හමුදාවෙන් ප්‍රහාරයක්

27 April 2020

රටේ ප්‍රධාන වී වගා දිස්ත්‍රික්කවල ගොවීහු මේ දිනවල, ‘කොරෝනා බිය’ පැවතිය ද බෙහෙවින් තුටුපහටුව සිටිති. දුක් මහන්සියෙන් සරිකර ගත් 2019/2020 මාස් කන්නයේ වී අස්වැන්න, පෙරැත්තයකින් තොරව ඉහළ ම මිලකට අලෙවිකර ගන්නට හැකිවීම ඔවුන්ගේ සතුටට හේතුවයි. රාජ්‍ය අංශයේ අලුත් ම වී ගැනුම්කරුවා, ‘යුද හමුදාව’ ය. ඊට පෙර සිටි ‘වී අලෙවි මණ්ඩලය’, ‘සමුපකාර සමිති’ සහ ‘ස.තො.ස.’ ආදී රජයේ වී ගැනුම්කරුවන්ට වඩා සාධාරණව සහ සකසුරුවම්ව යුද හමුදාව වී මිල දී ගත් බව, බොහෝ ගොවීන්ගේ අදහසයි. ලියුම්කරුට වැටහෙන ආකාරයට, වී අස්වනු මිල දී ගැනීම පිණිස රාජ්‍ය අංශයේ පුළුල් මැදිහත් වීමක් දරා ඇත්තේ 1990 දශකයේ මුල් භාගයෙන් පසුව ය. සාමාන්‍යයෙන් අපේ රටේ සමස්ත වී වගා භූමිය ම වගා කෙරෙන්නේ මාස් කන්නයට ය. එනම්, සෑම වසරක ම ඔක්තෝබර් මාසයේ සිට ඊළඟ වසරේ මාර්තු දක්වා එළැඹෙන කාල වකවානුවේ ය. මේ වකවානුවේ දී රටේ ප්‍රධාන වී වගා ප්‍රදේශ සේ සැලකෙන අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ, වව්නියාව, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වී වගාවෙන් ගැවසී යයි. ඒවායෙහි අස්වනු නෙලන්නේ මාර්තු සහ අප්‍රියෙල් මාසවල ය. මෙවර 2019/2020 මාස් කන්නයේ ද රට පුරා හෙක්ටයාර් 8, 19, 721ක පමණ වී වගාකර තිබිණි. කෙසේ වෙතත් කාලගුණික තත්ත්වයන් සහ වෙනත් කාරණා මත පදනම්ව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව වූයේ එයින් සියයට 92ක අස්වනු ඉලක්කයකි. ඒ අනුව, මෙට්‍රික් ටොන් 29 ලක්ෂයක වී අස්වැන්නක් ලැබෙතැයි අපේක්ෂා කෙරිණි. අස්වනු නෙළන කාලයට වී ගොවීන් මුහුණ දෙන ලොකුම ගැටලුව වන්නේ, ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීම ය. යම් ආකාරයක සහතික මිලක් පනවා තිබුණ ද, අස්වනු නෙලන සමයට වී කිලෝවේ මිල රුපියල් විසි පහට, තිහට, තිස් පහට පහත වැටීම ගොවීන්ගේ අත්දැකීමයි. රාජ්‍ය අංශයේ නිල වී ගැනුම්කරුවා වන ‘වී අලෙවි මණ්ඩලය’, මිල දී ගැනීම් කරන්නේ රජය පනවා ඇති සහතික මිලට ය. එවිට පෞද්ගලික අංශයට ඊට වඩා අඩු මිලකට වී මිල දී ගැනීමේ අවස්ථාව ඇහිරෙයි. එවිට ඔවුන්ට ද සිදු වන්නේ සහතික මිලට හෝ ඊට වඩා වැඩි මිලකට වී තොග මිලට ගන්නට ය. මෙය ‘සංකල්පයක්’ හැටියට බෙහොම හොඳ ය. එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, වී කිලෝවේ මිල ස්ථාවරව තබා ගැනීමට පුළුවන. එසේ වුව ද, රාජ්‍ය අංශයේ නිල වී ගැනුම්කරුවා වැඩ ආරම්භ කරන්නේ කල් පහු වෙලා ය. වී අලෙවි මණ්ඩලය ගබඩා විවෘත කර ගෙන වැඩේට බසින විට, පෞද්ගලික අංශයේ මුදලාලිලා ගොවීන්ගේ වී ටික කුණු කොල්ලයට ඩැහැ ගෙන හමාර ය. එබැවින් මණ්ඩලයට රටේ වී මිල ස්ථාවරව තබා ගන්නට හැකියාවක් නැත. කොයි හැටි වෙතත්, වෙළෙඳපොළට එන වී අස්වැන්නෙන් සියයට අනූවක් ම මිලයට ගන්නේ පෞද්ගලික අංශයේ වී මෝල් හිමි ව්‍යාපාරිකයන් ය. ලංකාවේ මහා පරිමාණ වී මෝල් හිමියන් අතර ප්‍රබලයන් හය දෙනෙකි. ඔවුන් අපේ රටේ ප්‍රකට දේශපාලන පවුල් දෙකකට අයත් ය. එය විශේෂ කාරණයකි. දැන් කලක් තිස්සේ ම සහල් කිලෝවේ මිල පාලනය කරන්නේ ඔවුන් ය. 1990 දශකය මුල් භාගයේ සිට ම, ලංකාවේ වී සහ සහල් වෙළෙඳපොළ හැසිරුණේ ඔවුන්ට වාසි සහගත ආකාරයට ය. වී කිලෝවේ මිල මෙන්ම, සහල් කිලෝවේ මිල ද තීන්දු කෙරුණේ ඔවුන්ට ඕනෑ හැටියට ය. වී කිලෝවේ මිල යනු බොහොම සංවේදී කාරණයකි. රටේ ම කුසගිනි නිවන සහල් කිලෝවේ මිල තීන්දු කෙරෙන්නේ වී කිලෝවට පැනවෙන මිල අනුව ය. වියෙන් උපදින සහලින් පිසෙන බත, රටේ ප්‍රධාන ආහාරයයි. එහි මිල ගණන් තීන්දු විය යුත්තේ බත හදන මිනිසුන් ට සේම, බත බුදින මිනිසුන්ට ද සාධාරණ වෙමිනි. එහෙත් ලංකාවේ පෞද්ගලික සහල් මෝල් හිමියන් හැමදාමත් කළේ සහල් කිලෝවේ මිල හැකි ඉහළම තලයක තබා ගැනීම ය. එය බත් කන මිනිසුන්ට අසාධාරණයකි. ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් 19 වැනි දා සහල් කිලෝවකට රුපියල් 98.00ක උපරිම සිල්ලර මිලක් පැනෙව්වේ ය. මේ දිනවල විවෘත වෙළෙඳ පොළේ සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 95.00ක්, රුපියල් 98.00ක් තරම් වෙයි. එසේ විකිණෙන්නේ, රුපියල් 30-35ට මිලයට ගත් වියෙන් සැකසූ සහල් වීමට ද පුළුවන. සහල් කිලෝවක් නිපදවීමට වී කිලෝ එක හමාරක් අවශ්‍ය බව සම්මතයයි. ඒ අනුව බලන කල, සහල් නිෂ්පාදනය යනු හොඳ ලාභ සහිත ව්‍යාපාරයකි. මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගොවීන්ගේ වී අස්වැන්න කුණු කොල්ලයට මිල දී ගන්නේ මේ කාරණය නිසා ය. බොහොම කෙටි කලක දී විශාල ලාභයක් ලැබිය හැකි නිසා ය. යුද හමුදාව ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගන්නට යොමු වන්නේ මෙබඳු පසුබිමක් තුළ ය. එනම්, මෙදා පොටේ ද ගොවීන්ගේ වී ටික කුණු කොල්ලයට මිල දී ගැනීම පිණිස මහා පරිමාණ වී මෝල් හිමියන් සැදී පැහැදී සිටිය දී ය. කෙරෝනා වසංගතය ද සමගින් රටට සහල් හිඟයක් එතියි, අදහසක් විය. එයට මුහුණ දීම පිණිස, රජය යුද හමුදාව යොදවමින් වී මිල දී ගැනීමට කල්පනා කළා ද විය හැකි ය. කොයි හැටි වෙතත්, රජයේ මේ තීරණය ගොවි ජනතාවට නම් ඉමහත් සහනයක් ම විය. යුද හමුදාව මගින් වී අස්වනු මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මග පෙන්වීම් අනුව ය. යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්ෂණය යටතේ ය. [caption id="attachment_75975" align="alignright" width="214"] බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනාරච්චි[/caption] යුද හමුදාවේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ යුද හමුදා සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනාරච්චිගේ මෙහෙය වීමෙනි. ඔහු පවසන ආකාරයට, රජය මෙවන් වැඩපිළිවෙළක් සංවිධානයකර ඇත්තේ වී ගොවීන්ට සාධාරණය ඉටු කිරීම මුල්කර ගනිමිනි. රජය වී කිලෝවකට රුපියල් 50.00ක සහතික මිලක් පනවා තිබිය දී, පෞද්ගලික වෙළෙන්දන් එය නො තකමින් වී අස්වනු කිලෝව රුපියල් තිහට-තිස් පහට මිල දී ගන්නට කටයුතුකර ගෙන ගියහ. මෙයින් ගොවීන් අසරණ වූහ. රජය වී මිල දී ගැනීම පිණිස යුද හමුදාව යොමු කළේ එයින් පසුව ය. පොදුවේ වී කිලෝවක ගැනුම් මිල රුපියල් පණහකි. ‘අපට සහාය වුණේ වී අලෙවි මණ්ඩලයයි. මිල දී ගන්නා වී තොග නියමිත ප්‍රමිතිය ගබඩා කළ යුතුව තිබුණා. වී අලෙවි මණ්ඩලයේ ගබඩා 317ක් තිබුණා. එයින් පනහක් පමණ අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ තිබුණා. අපට පැය හතළිස් අටයි තිබුණේ. අපි ඒවා පිළිසකරකර ගත්තා. මේ වන විට අපි වී මෙට්‍රික් ටොන් 25,000ක් මිලයට අරන් ගබඩා කරලා තියෙනවා. ඒ සමගම, සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ද මෙටි්‍රක් ටොන් 25,000ක් මිලයට අරන් තිබෙනවා. මේක සහල්කර ගත්තාම මුළු රටට ම, ඉදිරි මාස නමයකට ඇති’, බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනාරච්චි ‘අරුණ’ ට පැවසී ය. ගොවීන් බොහොම දෙනෙකුට මෙදා තම වී අස්වනු තොග මිල දී ගැනුම් මධ්‍යස්ථානවලට රැගෙන යන්නට සිදු වූයේ නැත. ප්‍රවාහන පහසුකම් නැති ගොවීන්ගේ වී තොග හමුදාව විසින් ප්‍රවාහනයකර දෙන ලදී. තරඟකාරී මිල දී ගැනීම් කෙරුණේ ද අත්පිට ය. රාජ්‍ය අංශය යුද හමුදාව යොදවා කිලෝවක් රුපියල් පණහක් බැගින් මිලයට ගන්නා විට, පෞද්ගලික අංශයේ වී මිල දී ගැනුම් මධ්‍යස්ථාන පාළුවට ගියේ ය. එබැවින් ඔවුන් ගෙන් ඇතැමෙක් වී ගැනුම් මිල මදක් වැඩි කළහ. දැන් සමහර පෞද්ගලික වෙළෙන්දන් වී මිල දී ගන්නේ කිලෝවක් රුපියල් පනස් දෙක, පනස් හතර බැගිනි. එය හොඳ තරගයක් බව ගොවීහු කියති. රජයේ සහතික මිල යාන්ත්‍රණය හරියට ම ක්‍රියාත්මක වන්නේ වසර විස්සකට පමණ පසුව ය. ‘වී මිල දී ගැනීම සඳහා බොහොම කාලයක් තිස්සේ රාජ්‍ය අංශයේ ප්‍රමාණවත් මැදිහත් වීමක් තිබුණ් නෑ. ඒකෙන් වී ගොවියෝත්, සහල් පාරිභෝගිකයෝත් එක සේ පීඩා වින්දා. ලංකාවෙ ම වී අස්වැන්න මිල දී ගන්න රජයට බැරි බව අපි දන්නවා. ඒත් මේ වැඩපිළිවෙළෙන් මිල පිළිබඳ නියම තරගකාරිත්වයක් ඇති වුණා. රජය දැන් මේක ඉදිරියටත් පවත්වා ගෙන යන්න හිතනවා නම් බොහොම හොඳයි’, ප්‍රකට ගොවි නායකයෙක් වන පොළොන්නරුව කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස කියන්නේ ය. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..