brand logo

සහල් මාෆියාවට පෑගෙන බත් කට

27 March 2021

මේ වන විට සෑම වර්ගයකම පාහේ සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගොස් ඇති අතර, මහා පරිමාණ වී මෝල් හිමියන් අනතුරු හඟවන්නේ ඉදිරි දිනවලදී තවදුරටත් සහල් මිල ඉහළ යන බවය. රටේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය මේ දිනවල පිටරටින් සහල් ආනයනය කිරීමට තීරණය කර ඇත. කෙසේ නමුත්, පසුගිය කන්නවලදී සේම මෙවර 2020/21 මහ කන්නයේද මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ වී මාෆියාව බලවත් වී පාරිභෝගිකයා ද ආණ්ඩුවද ග්‍රහණයට හසුකරගෙන හමාරය. මෙවර මහ කන්නයේ වී වගා කරන ලද අක්කර ප්‍රමාණය දහනව ලක්ෂ අසූ පන්දහස් හැට හයකි. අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් තිස්තුන් ලක්ෂ විසිපන් දහස් දෙසිය නමයකි. එම ප්‍රමාණයෙන් මේ වෙද්දී මෙට්‍රික් ටොන් විසිතුන් ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය හතළිස් හතරක් කැපී අවසන්ය. මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අනූපන් දහසකි. ඒ අනුව වසරකට සහල් මෙට්‍රික් ටොන් විසිතුන් ලක්ෂ හතළිස් දහසක් අවශ්‍යය. මේ වසරේ අපේක්ෂිත සහල් නිශ්පාදනය මෙට්‍රික්​ ටොන් ලක්ෂ තිහකි. ඒ අනුව මේ වසරේ සහල් අතිරික්තය මෙට්‍රික් ටොන් හයලක්ෂ හැට දහසක් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ගණන් බලා ඇත. එවන් වූ සහල් අතිරික්තයක් පවතිද්දී සහල් මාෆියාව බරපතළ ලෙස හිස ඔසවා ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ දිනවල වෙළෙඳ පොළේ නාඩු සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 96 ත් 100 ත් අතර මිලකට ය. සතොස සහ සුපිරි වෙළෙඳසල්වල නාඩු සහල් කිලෝවක් එම මිලට අලෙවි කෙරුනද, ආර්ථික මධ්‍යස්ථානවල නාඩු සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 100 කටය.

මුත් ඇතැම් වෙළෙඳසල්වල නාඩු සහල් කිලෝව රුපියල් 100 ඉක්මවා අලෙවි කරන අවස්ථාවන්ද වාර්තා වේ. කීරි සම්බා කිලෝවක මේ දිනවල මිල රුපියල් 125 ත් 160 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත. සතොස වෙළෙඳසල්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 125 කට අලෙවි කෙරෙන අතර, සුපිරි වෙළෙද සැල්වල කීරි සම්බා කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 159 ත් 169 ත් අතර මිලකටය.

නමුත්, සහල් මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපා සිටිති. සතොස ආයතනවල සහල් සපයන්නේ සීමාසහිතවය. ඇතැම් සතොස වෙළෙඳසල් කිලෝ පනහකට වඩා කෙනෙකුට දෙන්නේ නැත. ඇතැම් වෙළෙඳසල්වල සහල් නිකුත් කරන්නේ තවත් භාණ්ඩ මිලදී ගන්නවා නම් පමණි. මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමේ ක්‍රියාන්විතය සඳහා වී අලෙවි මණ්ඩලය විසින් ගබඩා 323ක් සූදානම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේදී කටයුතු කරන ලදී. එපමණක් නොව වී මිලදී ගැනීම සඳහා වැඩිම මුදලක් වෙන් කෙරුණේද මෙවර යල කන්නය සඳහාය. ඒ අනුව රුපියල් මිලියන විසිතුන් දහසක් වී මිලදී ගැනීමට වෙන් කෙරිණි. වී මිලදී ගැනීම සඳහා ඉකුත් 2016 වසරට පසුව වැඩිම මුදලක් වෙන් කෙරුනේද මෙවර යල කන්නය සඳහාය. එම වසරේදී වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 6600 කි. 2017 වසරේදී වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට සත පහක්වත් වෙන් නොකෙරුණු අතර, 2018 වසරේදී වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 290 කි. රජය වී අලෙවි මණ්ඩලය හරහා වී තොග මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50ත් 52 ත් අතර මිලදී ගැනීමට මුලදී සැලසුම් කරන ලදී. එමෙන්ම, ගොවීන් රජයේ පොහොර සහනාධාරයෙන් වගා කරන බැවින් හෙක්ටයාර් එකකට වැඩි භූමි ප්‍රදේශයක ගොවීන් යම් වී තොගයක් වී අලෙවි මණ්ඩලයට සැපයිය යුතු බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ දන්වා සිටියේය. ඒ අනුව හෙක්ටයාර් එකත්, එක හමාරත් අතර වී වගා කරන ගොවීන් වී කිලෝ දහසක්ද, හෙක්ටයාර් එක හමාරත් දෙකත් අතර භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් වී කිලෝ 1500 ක්ද මණ්ඩලයට ලබාදීම අනිවාර්ය කෙරිණි. රජය මෙහිදී බලාපොරොත්තු වූයේ හෙක්ටයාර් එකකට වැඩි භූමි ප්‍රදේශයක වී මෙට්‍රික් ටොන් ලක්ෂයත් එකහමාරත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමටය. හෙක්ටයාර් එකකට වඩා භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දෙදහස් නමසිය හයකි. (282,906). හෙක්ටයාර් එකකට වඩා අඩුවෙන් වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව හත්ලක්ෂ පනස් නව දහස් දාහතකි (759,017). ඒ අනුව හෙක්ටයාර් එකකට අඩු භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 73 කි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් සියයට 73කට ආණ්ඩුවට වී දීම ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත්, හෙක්ටයාර් එකකට වඩා වී වගා කරන ලද ගොවීන්ගෙන් අනිවාර්යයෙන් වී ලබා ගැනීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.

මුල් පිටුව“පොහොර සහනාධාරය ලබා ගෙන හෙක්ටයාර් එකකට වැඩියෙන් වී වගා කරන ලද ගොවීන් මණ්ඩලයට වී අනිවාර්යයෙන්ම සැපයිය යුතුය කියන තීරණයත් සමග වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම පර්‌යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සේවය ලබා ගැනීමට නියමිත වුණා. එම නිලධාරීන් ගොවි බිමට ගොස් වී මිලදී ගැනීමට දායක කර ගැනීමටයි බලාපොරොත්තු වුණේ. නමුත්, එය ක්‍රියාත්මක වු​ණේ නෑ. ඊට හේතුව තමයි පොහොර සහනාධාරය ගන්නා ගොවීන් අනිවාර්යයෙන්ම මණ්ඩලයට වී ලබාදිය යුතුයි කියන තීරණය අත්හිටුවීම. ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කීපයක පමණක් වී මිලදී ගැනීමේ කටයුතු සඳහා කෘෂිකර්ම පර්‌යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් තවමත් සම්බන්ධවී සිටිනවා.” යැයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේය.

මේ පිළිබදව අදහස් දැක්වූ කෘෂිකර්ම පර්‌යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රසන්න ලියනගේ කියා සිටියේ වී මිලදී ගැනීමේ වැඩසටහනට සිය නිලධාරීන් සම්බන්ධ වූවත්, ඔවුන්ට ගැටලු කීපයකට මුහුණදීමට සිදුවූ බවය.

“රටේ සහල් ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා වී මිලදී ගැනීමේ කටයුත්තට අපේ දායකත්වය ලබාදෙන්න තීරණය කළා. නමුත්, වීවල තෙතමනය පරීක්ෂා කිරීම සඳහා අපිට මාපක ලැබුණේ නෑ. ප්‍රවාහන ගැටලු තිබුණා. තරාදි ගැටලු තිබුණා. වී අලෙවි මණ්ඩලයේ සමහර නිලධාරීන් අපි වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙනවාට එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ. මේ නිසා වී මිලදී ගැනීමේදී අපිට ගැටලු මතුවුණා. දැන් මේ වැඩසටහනට අපේ සම්බන්ධතාවක් නෑ.” යැයි ප්‍රසන්න ලියනගේ කියන්නේය.

කෙසේ නමුත්, රජයේ නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා පිළිවෙත හමුවේ අවසානයේදී සිදුවී ඇත්තේ රජයේ වී සංචිතයට ලැබෙන වී ප්‍රමාණය අඩුවීමය. වී කිලෝවක මිල රුපියල් 55 ක් දක්වා ඉහළ දැමූවත් ප්‍රමාණවත් පරිදි වී තොග වී අලෙවි මණ්ඩලයට නොලැබිණි. ඊට බලපෑවේ වෙළෙන්දන් ගොවි බිමේදීම වී කිලෝව රුපියල් 60 බැගින් මිලදී ගැනීමට කටයුතු කිරීමය. වී අලෙවි මණ්ඩලය තෙත වී කිලෝවක් රුපියල් 44 කට මිලදී ගනිද්දී මේ වෙළෙන්දන් තෙත වී කිලෝව රුපියල් 45 කට මිලදී ගැනීමට කටයුතු කළේය. වී අලෙවි මණ්ඩලයට වී ගෙනැවිත් දෙන්නේ නම් වී කිලෝවකට රුපියල් එකයි ශත පනහක අමතර ගාස්තුවක්ද ලබාදීමට මණ්ඩලය කටයුතු කරන ලදී. නමුත්, ආණ්ඩුවට වඩා පුද්ගලික වී මෝල් හිමියන් මේ වෙද්දී වී නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන අවසන්ය. වී මිලදී ගැනීමේදී පුද්ගලික වී මෝල් හිමියන් අතරත් තරගයක් ඇතිවී තිබෙනවා. මොකද මහ කන්නයේ මිලදී ගන්නා වී වලින් තමයි මේ වී මෝල් වසර පුරාම වැඩකරන්නේ. මේ මහා පරිමාණ වී මෝල්වල සේවකයන් හත්සියයක්, අටසියයක් පමණ වැඩ කරනවා. මේ මෝල් පවත්වාගෙන යෑමට නම් වැඩි වී ප්‍රමාණයක් මිලදී ගත යුතුයි. වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සියයට හතරක පොලී අනුපාතය යටතේ ණය පහසුකම් ලබාදීමටද පසුගිය කාලයේදී කටයුතු කළේය. නමුත්, එය අද වෙද්දී රජයට ඉතා අවාසිදායක තත්ත්වයක් බවට පත්ව තිබෙන්නේය. අඩු පොලියට ණය ගත් ඇතැමුන් එම මුදල් කෘෂිකාර්මික කටයුතුවලට නොයොදා වාහන මිලදී ගැනීම ආදිය සිදුකර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේය. මේ නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත වහාම සියයට හතරේ පොලී අනුපාතය මත ණය ලබාදීම ඉකුත් සතියේ නතර කෙරිණි. ණය ලබාදීම අවසන් කරද්දී පෙරහැර ගොස් අවසන්ය. ඊට හේතුව ණය ලබාදීම නතර කරද්දී බහුතරයක් ණය ලබාගෙන අවසන් වීමය. අඩු පොලියට ණය ලබාගත් අයවලුන් බොහෝ දෙනෙකු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඒවා සඟවාගෙන ඇත්තේ ඉදිරියේදී වැඩි මිලට ඉහළ දැමීමේ අපේක්ෂාවෙනි. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා කියා සිටියේ අතරමැදියන් වී තොග සඟවාගෙන සිටීනම් ගබඩා කඩාදමා හෝ රජයට එම වී තොග ලබා ගැනීමට කටයුතු කරන බවය. වරින් වර බලයට පත්වන රජයන්හි වෙළෙඳ ඇමැතිවරුන්, කෘෂිකර්ම ඇමැතිවරුන් මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබූවත් එලෙස ගබඩා කඩා වී රජයට පවරාගත් අවස්ථාවක් නම් වාර්තාවී නැත.

අලුත් අවුරුදු සමයේදී කිසිසේත්ම සහල් මිල ඉහළ යෑමට ඉඩ ලබානොදෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කියන්නේය. රජය සතු වී සංචිතය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ලවා කොටා ඒවා සහල් බවට පත්කර සතොස සහ සමුපකාර සමිති හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ක සහන මිලට අලෙවි කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

වී මිලදී ගැනීම සඳහා රජය විසින් ඉකුත් 07 වැනිදා මාසයක ක්‍රියාන්විතයක් ආරම්භ කරන ලදී.. එය අප්‍රේල් මස 08 වැනිදා දක්වා ක්‍රියාත්මකය. රජයේ අපේක්ෂාව වී අලෙවි මණ්ඩලය හරහා මෙම කාලය තුළදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලදී ගැනීමය. නමුත්, වී අලෙවි මණ්ඩලයට තවමත් මිලදී ගැනීමට හැකිවී තිබෙන්නේ මහ කන්නයේ සමස්ත වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 32,000 ක ප්‍රමාණයක් පමණි. මෙරට ප්‍රධාන වී මෝල් හිමියන් තුන් හතර දෙනෙකු වී මාෆියාවේ නිරතවී සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ පවසන්නේය. එම මාෆියාව බිඳ දැමීම සඳහා රජය උපරිම ලෙස කටයුතු කරන බවද ඔහු කියයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..