brand logo

සහල් පාලන මිල ගැසට්ටුවට මුවාවෙමින් කැකුළු සහල් කිලෝව රුපියල් 110 නංවයි

28 December 2019

කැකුළු සහල් සඳහා රජයේ පාලන මිලක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොමැති නිසා කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 110ක් දක්වා ඉහළ ගොස් තිබේ. අයහපත් කාලගුණයට මුවාවෙමින් නව වසර ඉලක්ක කර මෝල් හිමියන් කැකුළු සහල් මිල ඉහළ දමා ඇත. රජයේ ස්ථාවර මිල වන සම්බා වී කිලෝවක් රුපියල් 41කටද, නාඩු වී කිලෝවක් රුපියල් 38ක් ලෙස ස්ථාවර මිල නියම කර තිබුණි. ඊට වඩා අඩු මිලට පෞද්ගලික මෝල් හිමියන් විසින් මිලට ගෙන ගබඩා කර තිබූ වී තම්බා සහල් කර රුපියල් 98කට අලෙවි කිරීමට නවතම ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එනමුත් මෙම ගැසට් පත්‍රයට කැකුළු සහල් ඇතුළත් නොවීමෙන් එහි මිල ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් සති දෙක තුනකින් මහ කන්නයේ වී අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ වීමත් සමග වෙළෙඳපොළට වී තොග පැමිණෙන නිසා, තීරුබදු සහන ලබාදී සහල් ආනයනය නොකරන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති. ඒ අනුව නාරම්මල, ගල්ගමුව, මහව හා අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශවල අස්වැන්න නෙළීම තව සති තුනකින් පමණ ආරම්භ වන බව ගොවීහු පවසති. පසුගිය කන්න හතරෙ ලැබුණු අස්වැන්න හා පිටරටින් ගෙන්වන සහල් තොගවල ප්‍රමාණය අනුව රට තුළ ලබන මැයි මාසය වන තෙක් වී තොග ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත සේනාධීර පැවසීය. කෙසේ වෙතත් අප කළ ගවේෂණයකදී හෙළි වූයේ පසුගිය මහ කන්නයේ හා යල කන්නයේ ලැබුණු අස්වැන්න මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු විසින් කුලියට ලබාගෙන ඇති වී අලෙවි මණ්ඩලයේ හා වැසී ගිය මෝල් හිමියන්ගේ ගබඩාවල ගබඩා කර ඇති බවයි. එම මෝල් හිමියන් මැදිහත් වී ඉතා අඩු මිලට බැංකු මගින් ණය ලබාදී වී තොග රැස් කර ගබඩා කර ගෙන ඇත. අඩුම තරමේ මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක පමණ අතිරික්තයක් මෙම ගබඩාවල ඇති බව වාර්තා වේ. 2018/2019 මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් දහසත් තිස් පන්දහසත් (30000-35000) අතර අස්වැන්නක් සහ 2019 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහළොස් දහසක් (15000) පමණ අස්වැන්න සමග වසරේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිස් පන්දහසක (45000) අස්වැන්නක් ලැබී ඇත. මාසික සහල් පරිභෝජනය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3කි. ඊට අමතරව 2018 වසරේද මේ ආකාරයෙන් අස්වැන්නක් ලැබුණි. එම වසරේ මැයි මාසයේ සතොස පිටරටින් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක සහල් තොගයක් ආනයනය කළ අතර පසුගිය අප්‍රේල් මාසය වන තෙක්ම ඒවා අලෙවි කළේය. කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් එක්ව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන් සමුපකාර සංගමය මගින් මේ වන විටත් පැරණි මිලට රැස් කර ඇති වී තොග සහල් කර සුදු සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 85කටත්, සුදු නාඩු රුපියල් 80ක මිලකටත් ශක්ති සහල් නමින් සුපිරි වෙළෙඳසල්වලට යොමු කර තිබේ. චමින්ද සේනාරත්න
 

More News..