brand logo

සහරාන් සමග අපට කිසිම සබඳතාවක් තිබුණේ නෑ - රාවුෆ් හකීම්

17 June 2020

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ, මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස තම පක්ෂයට චෝදනා කරන බවය. මෙවැනි කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවකු දැන නොසිටි බවත් පැවසූ හෙතෙම දිගින් දිගටම මෙවැනි ප්‍රචාර තුළින් මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්ව ඇතැයිද පැවසීය. අකටයුතුකම් සිදුව ඇත්තේ අන්තගාමී කොටසකින් මිස සමස්ත මුස්ලිම් ජනයාගෙන් නොවන බවත් පැවසූ රවුෆ් හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකට පවා පිහියක් නොමැති තත්ත්වයක් උදාවූ බවත්, මෙවැනි චෝදනා කළද කිසිවිටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද කියා සිටියේය. රටේ යහපත වෙනුවෙන් සැමවිටම පක්ෂයක් ලෙස දායකත්වය ලබාදීම තම අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජානක එස්. බණ්ඩාර-කුණ්ඩසාලේ
 

More News..