brand logo

සහරාන් මෙහෙයවූ නව්ෆර් මව්ලවි ඇතුළු තුන්කට්ටුවේ රහස් එළියට

16 March 2021

පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස විසි දෙකක් ගෙවී ගොස්ය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා පෙර අනතුරු හැඟවීම් දහයක් ලැබී තිබුණද එවකට පැවැති රජය හා​ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකමෙන් අහිංසක ජීවිත 254ක් අහිමිව ගොස් ඇතැයි දැන් අනාවරණය වන්නේය. පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවන් කවුරුන්ද? ගත වූ මාස විසි දෙකේ සියලු දෙනාට තිබූ ගැටලුව එය විය. ප්‍රහාර මාලාව පිටුපස සිටියේ කවුරුන්ද? මේ සඳහා මුදල් ලැබුණේ කෙසේද? දේශීය මෙන්ම විදේශීය සබඳතා මොනවාද යන්න මේ වන විට රටට හෙළිවෙමින් පවතී. ගතවූ මාස විසි දෙක තුළ සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනා ගත්තේ මොහමඩ් ඊබ්‍රාහිම් මොහමඩ් නවුෆර්ය. නවුෆර් සමග එළියට එන මීළඟ පුරුක් දෙක වන්නේ හජ්ජුල් අක්බර් හා ලුක්මාන් තාලිබ් අහමඩ්ය. මේ තිදෙනා කවුරුන්ද? ඔවුන්ගේ අරමුණ කුමක්ද? ආරම්භයේදී සහරාන් හෂීම් කාත්තන්කුඩිහි මූලධර්මවාදය සමග ජීවත් වූවෙකි. මේ කියන සහරාන් හෂීම් ඒ වන විට අන්තවාදය වපුරන්නේ ලැයිස්තුවටවත් බුද්ධි මෙහෙයුම්වලටත් අසු නොවූයෙකි. අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබක්කර් අල් බෑග්ඩෑඩි සිරියාව - ඉරාකය කේන්ද්‍ර කර ගෙන ඉස්ලාම් රාජ්‍යයක් (Caliphate) ප්‍රකාශයට පත් කරමින් එය වෙනුවෙන් සටන් කරන්නට සිරියාවට එන්නැයි කළ ඉල්ලීමට ලංකාවෙන්ද ප්‍රතිචාර ලැබුණේ 2015දීය. නිලාම් ඇතුළු පවුල්වල සාමජිකයන් 37 ක් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට එක්වන්නේ 2015 ජනවාරි 15 සිට තුන්වතාකදීය. එංගලන්තයේ සිටි නිලාම්ගේ සොයුරා වූ ඉෂාක් අබුබක්කර්ගේ ඉස්ලාම් කැලිපේටයට ලංකාවත් එක්කරන්නට පවුලේ සාමාජිකයෝ සිරියාවට කැඳවූහ. එයට සමගාමීව ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් (JMI) සංවිධානයත් සේව්ද පර්ල් නමැති රාජ්‍ය නොවන සංවිධානයත් ලංකාවේ ආරම්භ විය. මේ අතරේ අයි.එස්.අයි.එස්. නායකයාගේ අන්තවාදී මතවාදය මෙරට තුළ පෝෂණය කරන්නට පෙරමුණ ගත්තේ ඊබ්‍රාහිම් මොහමඩ් නවුෆර් හෙවත් නවුෆර් මව්ලවිය. ලංකාවත් සිරියාවක් බවට පත් කරන්නට අන්තවාදය වපුරන න්‍යායාචාර්යවරයා වන්නේ නවුෆර් මව්ලවි බව ශ්‍රී ලංකා රජය කළ විමර්ශනවලින් තහවුරු වී හමාරය. එය ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නවුෆර් තෝරාගන්නේ සහරාන් හෂීම්වය. කාත්තන්කුඩි උපන් නවුෆර් මව්ලවි විවාහ වන්නේ කුලියාපිටිය කැකුණගොල්ලෙන්ය. 1997දී කටාර් රාජ්‍යයේ රැකියාවක් සඳහා පිටව යන නව්ෆර් මව්ලවි එහිදී අන්තවාදී දේශන පවත්වා ශ්‍රී ලාංකිකයන් අන්තවාදයට නැඹුරු කිරීමට පටන් ගෙන තිබිණි. 2006 වසරේ මෙරටට පැමිණි පසුව විසි හැවිරිදි සහරාන් සමග එක්ව කාත්තන්කුඩි හි දරුල් ආදාර් නමින් සංවිධානය ආරම්භ කරන්නේය. නවුෆර්ගේ ඉදිරි ගමනට සහරාන් ඥාතියකු බවට පත් කරගන්නේ බිරිඳගේ සහෝදරියගේ දියණිය වූ හාදියා සහරාන්ට විවාහ කරදෙමිනි. 2009 වසරේදී සහරාන්ව අන්තවාදී දේශනයකට ජපානයට යවන්නේත් නව්ෆර් මව්ලවි විසිනි. 2011දී දරුල් ආදාර් සංවිධානයෙන් ඉවත්වී ජාතික තව්හිද් ජමාත් (NTJ) සංවිධානය පිහිටුවීමට නව්ෆර් හා සහරාන් කටයුතු කරන්නේ වහබ් මතවාදය වපුරවමින්ය. 2014 දී අයි.එස්. නායක අබුබක්කර් බැග්ඩැඩ් කැලිපේටයක් ප්‍රකාශයට පත් කළ පසුව ලාංකිකයන්ට අන්තවාදී දේශන වපුරවන්නට ගත් නව්ෆර් මව්ලවි කිහිප වතාවක්ම කටාර්වලට ගොස් පැමිණෙන්නේය. අයි.එස්. ක්‍රියාකාරකම් ගැන සහරාන්ට පෙන්ඩ්‍රයිව් එකක් ලබාදී ඉදිරි ක්‍රියාකාරකම් ගැන උපදෙස් දෙන්නේ 2016දීය. කටාර්වලට ගොස් එහි සිට අන්තවාදී මතවාදවලින් සහරාන් ඇතුළු පිරිස පෝෂණය කිරීම නව්ෆර්ගේ මූලික අභිප්‍රායය. 2017දී නව්ෆර් ලංකාවට පැමිණ මව්ලවිවරුන් හතර දෙනකු සමග මෙරට න්‍යයාචාර්යවරයා වශයෙන් අන්තවාදය වපුරන්නට අරඹන්නේය. ලංකාවත් ඉස්ලාම් රාජ්‍යයක් කරන්නට අන්තවාදී ප්‍රහාර මාලාවක් සැලසුම් කරන්නේ මින් පසුවය. 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියාර් හන්දියේ ප්‍රහාරයෙන් පසුව සහරාන් කරළියට ගෙන එන්නට විය. මේ වන විට යහපාලන රජය හමුදා බුද්ධි අංශය දඩයම් කරමින් තිබුණු නිසා සහරාන්ගේ නැගී සිටීම සෙවීමට වඩා සී.අයි.ඩී.ය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ක්‍රියත්මක වන්නට විය. හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි විසින් අයි.එස්. මතවාද වපුරමින් අන්තවාදී ඉලක්ක කරා යන නව්ෆර් ඇතුළු අන්තවාදීන් එකසිය ගණනකගේ ලැයිස්තුවක් සමග සාක්ෂි හා ඡායාරූප ජාතික ආරක්ෂක කවුන්සිලයට හා යහපාලන රජයට දුන් බුද්ධි වාර්තාව පසෙකට ලා තිබුණේ මෙම කාලයේදීය. එම බුද්ධි වාර්තාව පසෙකට විසි කරන්නේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම ඡන්ද පදනමට බලපෑමක් වන බවට සැකය මතය. ඉන් නොනැවතී බුද්ධි අධ්‍යක්ෂවරයාත් 2016දීම මැලේසියාවට මාරු කර යවන්නේය. ඉන් පසු නව්ෆර්ලා ගැන සොයන බුද්ධි මෙහෙයුම් නවත්වද්දී නව්ෆර් සියලු මෙහෙයුම් සැලසුම් කළේය. 2017 පටන් මෙරට සිටම නව්ෆර්ට අන්තවාදය වපුරන්නට ඉඩ සැලසෙන්නේත් බුද්ධි අංශ අඩපණ කර තිබියදීය. සහරාන්ගේ අන්තවාදී දේශනවලට ප්‍රධාන දේශනයට පැමිණියේද නව්ෆර් මව්ලවිය. ලංකාවත් සිරියාවක් බවට පත් කරන ප්‍රහාර මාලාවක් සඳහා සැලසුම් කරන්නේ ඒ අනුවය. මහනුවර දළඳා පෙරහරට ප්‍රහාරයක් එල්ල කර මහා විනාශයක් කර සටන ඇරඹීම නව්ෆර් මව්ලවි දුන් උපදෙස් විය. නමුත් හදිසියේම සහරාන් ඉක්මන් ප්‍රහාරයකට සූදානම් වන්නේ මැද පෙරදිගින් අයි.එස්. ත්‍රස්තයන් ලබන පරාජයත්, නවසීලන්තයේ දේවස්ථානයකදී සිදුවූ ඝාතනයේත් පළිය ගන්නටය. හදිසි ප්‍රහාරයක් එල්ල කර අරමුණු කරා යා නොහැකි බැවින් ඉක්මන් නොවන්නැයි නව්ෆර් දැන්වීය. ‘‘එකක් කරලා නවත්තලා බෑ. තවත් පිරිස් බලය එකතු කරගත යුතුයි’’ යන මතයේ නව්ෆර් සිටියද සහරාන් පාස්කු ප්‍රහාරයට මුල පිරුවේය. සහරාන්ට මාලදිවයින් ත්‍රස්තයන්ගේ සහාය ලබා දීමට මැදිහත් වන්නේ ඔස්ට්‍රේලියානු මහාචාර්ය ලුක්මාන් තාලිබ් හා ඔහුගේ පුතාය. මේ කියන ලුක්මන් තාලිබ් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පුරවැසියෙකි. මහාචාර්යවරයා ඔහුගේ පුත් ලුක්මාන් තාලිබ් අහමඩ් මෙරටට මාලදිවයින් ත්‍රස්ත සාමාජිකයන් එවා අන්තවාදීන් හා සම්බන්ධීකරණය කළ අයෙකි. රාජ්‍ය බුද්ධි සේවාව හා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ විමර්ශන අනුව මෙය හෙළිවන්නේය. මාලදිවයිනේ සිට සිරියාවට අන්තවාදීන් සිය ගණනක් පිටත් කර යැවීමට මේ කියන මාලදිවයින් ත්‍රස්තයන් සිව් දෙනකු සම්බන්ධය. ඒ සිව් දෙනා මෙරටට එවා සහරාන්ට සම්බන්ධ කරන්නේ ලුක්මාන් තාලිබ් පිය පුතු දෙදෙනාය. මෙරටට අවස්ථා කිහිපයකදීම පැමිණි මාලදිවයින් ත්‍රස්තයන් සහරාන් සමග මහනුවරදී පුහුණුවීම් පවා කර තිබුණේය. 2017 වසරේදී සහරාන්ට මාලදිවයින් ත්‍රස්තයන් හඳුන්වා දුන් පසුව ඔවුන් කිහිප වතාවක් මෙරටට පැමිණි වග ගුවන් තොටුපොළේ වාර්තා අනුව සනාථ වන්නේය. මාලදිවයින් ත්‍රස්තයන්ගෙන් එකෙකු දැඩි අන්තවාදියකු ලෙස ආසියානු රටකින්ම පිටුවහල් කළ අයෙකි. මෙකී සිව් දෙනා අන්තවාදයට එරෙහිව වූ මාලදිවයින් මාධ්‍යවේදියකුද ඝාතනය කළ බව විදෙස් වාර්තා තහවුරු කරන්නේය. සෑහෙන කලක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ මහාචාර්ය ලුක්මාන් තාලිබ් ප්‍රහාර මෙහෙයවීම සඳහා කටාර් රාජ්‍යයට ගොස් පදිංචි විය. පාස්කු ප්‍රහාරයෙන් පසුව කටාර්හිදී එරට ආරක්ෂක අංශ භාරයට ගත් ඔහු පසුගිය සතියේ එරටදී නිදහස ලැබුවේය. මහාචාර්යවරයාගේ පුත් ලුක්මාන් තාලිබ් අහමඩ් දැනට සිටින්නේ ඔස්ට්‍රේලියානු රජයේ අධීක්ෂණය යටතේය. මොවුන්ගේ මෙහෙයවීමෙන් මෙරටට පැමිණි මාලදිවයින් ත්‍රස්තයන්ගේ දෙදෙනකු මේ වන විට සිටින්නේ ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේය. මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් ඔවුන් සහරාන් සමග සාකච්ඡා හා පුහුණුවීම් කළ තැන්වලට පවා ගොස් ඇත. ඔස්ට්‍රේලියානු සම්භවය ඇති තාලිබ් පිය පුතු දෙදෙනා සහරාන් සමග ඇති සබඳතාව තවත් තහවුරු වන්නේ පාස්කු ප්‍රහාරයට දින පහකට පෙර සිදුවූ යතුරුපැදි බෝම්බ පිපිරවීමය. 2019 අප්‍රේල් 16දා තාලංකුඩාහිදී බෝම්බ ඇට වූ යතුරුපැදිය පුපුරා ගිය තැන තිබී කැබලිවලට කැඩී ගිය ඔස්ට්‍රේලියානු සිම්කාඩ්පත් දෙකක කොටස් හමුවීමෙන් එය මනාව තහවුරු වන්නේය. නවුෆර් හා ලුක්මාන් තාලිබ්ට පසුව සහරාන් පසුපස සිටි මිළඟ බලවේගය ලෙස සඳහන් වන්නේ හජ්ජුල් අක්බර්ය. ඔහු ඊජිප්තුවේ ක්‍රියාත්මක මුස්ලිම් බ්‍රදර්හුඩ් මතවාදය ඔස්සේ මෙරට බිහි කළ ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ නායකයා වසර 24ක් එහි නායකයා ලෙසින් ක්‍රියාත්මක වූ ඔහුගේ සොහොයුරා වූයේ ඊබ්‍රාහිම් මව්ලවිය. මාවනැල්ල බුදුපිළිම කැඩූ සිද්ධීන් මෙහෙය වූ සාදික්, සාහිත් සොහොයුරු දෙදෙනා මෙන්ම අවසන් වරට අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන පුහුණුව ලත් තරුණිය වූයේත් ඔහුගේ දරුවන්ය. එම ඊබ්‍රාහිම් මවුලවිවරයා නව්ෆර් මව්ලවි යටතේ සිටි එක් මවුලවිවරයෙකි. ඊබ්‍රාහිම්ගේ සොහොයුරා වූ හජ්ජුල් අක්බර් අන්තවාදී මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගෙන පසුගිය රජය සමයේම මුදාහැර තිබිණි. ඔහුව යළිත් මෙම සති අන්තයේ මාලිගාවත්තේදී අත්අඩංගුවට ගන්​නේ ත්‍රස්ත කොට්ඨාසයෙනි. දැනට කරන ලද විමර්ශනවලින් පසු පාස්කු ප්‍රහාර සැලසුම් පුහුණුවීම් හා සන්නද්ධ කටයුතු සංවිධානය සහරාන්ගේ නායකත්වය යටතේ රිල්වාන්, නස්තුන්, මිල්නාන් හා සාදික් විසින් කර ඇත. නයිරුස් හා ෆස්රැල් විසින් අයි.එස්. මතවාදය ප්‍රචාරය භාරව සිට ඇත. ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල් හා භෞතික සම්පත් 2018 සිට වැල්ලම්පිටිය තඹ කම්හල හිමි දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම් ලබාදී ඇතැයි හෙළිවී ඇත. රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් ඊබ්‍රාහිම් සහෝදරයන් සහරාන්ට ලබාදී ඇත. මීට අමතරව සිරියාවේ සටන් වදින්නට ගිය ඉෂාක් සමග සිරියාවට ගිය නිලාම්ගේ පියාට රුපියල් ලක්ෂ 45ක් ලබා දෙන්නේ ඊබ්‍රාහිම් සොහොයුරන්ය. සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන්ට ප්‍රහාරයට පෙර ඊබ්‍රාහිම් සොයුරන් දුන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සයින්දමරුදු නිවසේ වූ පිපුරුමෙන් පසුව සොයා ගැනිණි. මේ අයුරින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්, අරමුදල් ලද ආකාරය හා විදෙස් සබඳතා නව රජය පත්වීමෙන් පසුව ඇරඹී බුද්ධි හා විමර්ශනවලින් තහවුරු වී අවසන්ය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..