brand logo

සහරාන් මද්‍රසා පාසලේදී ළමයින් ‘බෝම්බ’ කළ හැටි

19 May 2020

පාස්කු ප්‍රහාරයේ යටගිය විමර්ශන දැන් දැන් කරළියට එමින් ඇත්තේය. වසරක් තිස්සේ එළියට නොපැමිණි තොරතුරු අනාවරණය වන්නේ යටගිය විමර්ශන යළි ඇරඹීමත් සමගය. පාස්කු විමර්ශනවලට අදාළව අලුතින්ම කියැවෙන්නේ ළමා සොල්දාදුවන් ලෙසින් අන්තවාදී ප්‍රහාර සඳහා බාල වයස්කරුවන් යොදා ගැනීම සම්බන්ධවය. ඊළාම් යුද ඉතිහාසය පුරා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බාල වයස්කාර ළමුන්ව, ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කරන්නේ අනාගත ඉලක්ක සඳහාය. කුඩා කල පටන් ඔළුගෙඩිවලට ජාතිවාදය කාවද්දා අනෙකුත් ජාතීන්ගෙන් පළිගන්නට කොටි ත්‍රස්තයෝ ළමා සොල්දාදුවන් යොදා ගත්හ. මේ අතරින් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වෙනම ම ළමා සොල්දාදුවන් පුරුදු පුහුණු කළේ සෙන්චෝලේ අනාථ දරුවන් සිටින කඳවුරකදීය. එය කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පවා ආ ගිය තැනකි. එකී ළමා සොල්දාදුවන් ඊළම වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පුරුදු පුහුණු කර තිබුණේය. ඊළම වෙනුවෙන් අන්තවාදී අදහස් දරන දෙමළ තරුණයන් සමාජගත කළ ආකාරයටම මුස්ලිම් අන්තවාදය බාල වයස්කරුවන්ට කාවද්දන සැලසුම් හෙළිවන්නේ පසුගිය දිනවල කළ විමර්ශනවලදීය. සහරාන් ඇතුළු අන්තවාදීන්ද මේ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් දියත් කර තිබුණේය. ඔවුන්ගේ ඉලක්කයද කොළඹ කේන්ද්‍ර කරගෙන සමාජගත වන දෙමාපියන් නැති බාල වයස්කරුවන්ය. එම දරුවන් එකතු කර මද්‍රසා පාසල්වලට යොමු කරවන මෙහෙයුම රහසිගතවම ක්‍රියාත්මක වූවකි. දරුවන් සොයාගෙන විත් මද්‍රසා පාසල්වලට දුන් ජාවාරම්කරු, කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වූයේ පසුගිය සතියේය. ඔහුගෙන් ලද තොරතුරු මත විමර්ශන කිරීමේදී මද්‍රසා පුහුණු පාසල් තුළ දී ගිනි අවි හා බෝම්බ වර්ග ගැන පුරුදු පුහුණු කරවන බව අනාවරණය විය. සහරාන්ගේ සොහොයුරා වූ මොහොමඩ් රිල්වාන් මද්‍රසා පාසල්වලට පැමිණ ටී. 56 ගිනි අවි ගැලවීමේ සිට පරිහරණය දක්වාත්, අත්බෝම්බවල ක්‍රියාකාරීත්වය ගැනත් උගන්වා ඇතැයි හෙළි වන්නේය. රිල්වාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියදෙන්නේ සයින්දමරුදු හිදී හමුදාවට කොටු වූ මොහොතකය. පසුගිය වසරේදී සහරාන් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොතේදී දෙවැනි ප්‍රහාරයකට සූදානම් වූ රිල්වාන් සොයා ගත්තේ සයින්දමරුදුවලදීය. ප්‍රදේශය භාර ආරක්ෂක ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යටතේ භට කණ්ඩායම් ස්ථාපිත කර රිල්වාන් කොටුකරන්නට යද්දී දෙවැනි පෙළ ප්‍රහාරයකට ලක්වී සිටි ප්‍රහාරකයන්ද පුපුරුවාගෙන මිය ගියහ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගිය රිල්වාන් වනාතවිල්ලුවේ පිහිටා තිබූ අනාථ දරුවන්ගේ මොළ සෝදන මද්‍රසා පාසල්වල උපදේශකයකු ලෙසත් කටයුතු කළ අයෙකි. මුස්ලිම් ආගම පමණක් ලොව පුරා පැතිර යා යුතු බවත්, අනෙක් ආගම් විනාශ කළ යුතු බවත් මෙකී මොළ සෝදන්නා දරුවන්ට පුරුදු පුහුණු කර තිබිණි. වනාතවිල්ලුවේ, කච්චතිව් පාරේ පිහිටි මෙකී පුහුණු කඳවුර අක්කර හයක් පුරා විහිදී ගිය එකක් විය. එහි හිමිකරු ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් මෙය මද්‍රසා පාසලට පිරිනැමූ ඉඩමක් බව කියන්නේය. මාවනැල්ල බුදුපිළිම සිද්ධියෙන් පසු වනාතවිල්ලුව, ලැක්ටො වත්තේ කළ වැටලීමකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. එම අන්තවාදී පුහුණු කඳවුරට අනාථ පාසලේ සිට දුර කිලෝ මීටර් දොළහකි. මෙකී මද්‍රසා පාසලේ අවි පුහුණුව ලද ළමා සොල්දාදුවන් විසිහතර දෙනකුගෙන් දාහතර දෙනකුට කැලෑ සටන් හා අයි. එස්. අයි.එස්. සටන් ඇතුළත් වීඩියෝ පුරුදු පුහුණු කළ අයුරු එම දරුවන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණය කරමින් සිටිති. කල්පිටිය මදුරන්කුලියේ අසාර්නගර් හි පිහිටි මද්‍රසා පාසලක මෙම දරුවන්ට නවාතැන් ලබා දී ඇත. මෙම මද්‍රසා පාසල ආරම්භ කර ඇත්තේ සේව් ද පර්ල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අරමුදල්වලින් බව විමර්ශකයන් තහවුරු කර ඇත්තේය. මෙම පාසල ඉදිකිරීමට පර්චස් 109 ක ඉඩමක් මිලදී ගැනීමට මුදල් දී ඇත්තේ අරාබි රටවල ආධාර ඇතිවය. රුපියල් ලක්ෂ ගණනක මුදලක් තැන්පත් වී ඇති බැංකු ගිණුම් හිමි මෙම සංවිධානය මද්‍රසා පුහුණු පාසල්වලටද මුදල් වියදම් කර ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම සංවිධානයේ ගිණුම්වලට බැරවන මුදල් නතර වන්නේත්, පාස්කු ප්‍රහාරයෙන් මියැදුණු බෝම්බකරුවන් එයට වැඩිපුර දායක වූ නිසා විය හැකිය. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් සහ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානය වෙත මුදල් බැර කර තිබිණි. වසරකට රුපියල් ලක්ෂ හැටකට වඩා මෙකී ගිණුමට බැරකර තිබිණි. එම සංවිධානයේ ලේකම් හා භාණ්ඩාගාරික ධුරයන් දැරුවේත් මෙම ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාය. මොවුන් දෙදෙනා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාර දියත්කළ දෙදෙනාය. බාල වයස්කරුවන්ට පුහුණුවීම්වලදී දේශන දීමට මෙකී ත්‍රස්තයන් දෙදෙනාත් ආ ගිය වග හෙළි වන්නේය. මෙම බෝම්බකරුවන් දෙදෙනාද සේව්ද පර්ල් සංවිධානයේ භාණ්ඩාගාරික හා ලේකම් ධුරය හොබවද්දී එහි සභාපති ධුරය හොබවා ඇත්තේ මෑතකදී රහස් පොලිසිය භාරයට පත් වූ නීතිඥ හිජාස් හිස්බුල්ලාය. නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු වූ රිසාජ් බදියුදීන් පුත්තලමේදී අප්‍රේල් 14 දා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළවය. නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට පත්වීම ගැන නොයෙක් චෝදනා එල්ල වෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ඔහුව අත්අඩංගුවට ගත්තේ දුරකථන විශ්ලේෂණ හා ආ ගිය තැන්වල තොරතුරු පදනම් කර ගෙන සාක්ෂි සහිතව බවය. නීතිඥ හිජාස් හිස්බුල්ලා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හබයාස්කොපස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා හා සොහොයුරා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක්ද ගොනු කළහ. සේව්ද පර්ල් නමැති අරමුදලේ භාරකරු ඔහු බවත්, එම අරමුදල මගින් අනාථ දරු දැරියන්ට උපකාර කරනු ලබන බවත්, එයින් පෙන්වා දී ඇත. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු වූ ඉබ්‍රාහිම්ගේ නඩු කටයුතුවලට පෙනී සිටීම ගැනද, ප්‍රකාශ සටහන් කරගත් බව ඔවුන් සිය පෙත්සමෙන් පෙන්වා දෙති. කෙසේ වුවත් දැනට ඇති විමර්ශනවලට අදාළව මදුරන්කුලියේ හා වනාතවිල්ලුවේ මද්‍රසා පාසල්වලට අරමුදල් සපයා ඇත්තේ මෙම සංවිධානයෙනි. බාල වයස්කරුවන්ගේ මොළ සෝදා බෝම්බකරුවන් බවට පත් කරන සැලසුම්වලට දේශන පැවැත්වීමට පමණක් නොවන එම පාසල විවෘත කිරීමේ උත්සවයටත් මොහොමඩ් සහරාන් නමැති බෝම්බකරු පැමිණ තිබේ. මුස්ලිම් ගමක් මැද 2017 දී ඇරඹූ මදුරන්කුලියේ ළමා සොල්දාදුවන් පුහුණු මධ්‍යස්ථානය අසල පිහිටි පල්ලියේ අවසරයකින් තොරව යාමට නොහැකි ලෙස සැලසුම් කර තිබිණි. රටක් විනාශ කරන්නට අන්තවාදයට උඩගෙඩි දී අවුරුදු දොළහේ දහතුනේ වයස්වල දරුවන් මහා විනාශයන් සඳහා රැගෙන යෑමට ගත් සැලසුම අනාගත අභියෝගයකි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..