brand logo

සහරාන්ලා ගැන විමර්ශන නොකරන්නැයි ජනපති මෛත්‍රි මට කිව්වා

24 September 2020

මෙරට ක්‍රියාත්මක වූ මුස්ලිම් අන්තවාදය සහ සහරාන් හෂීම් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොකරන ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (23 වැනිදා) පැවසීය. එම පරීක්ෂණ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පමණක් සිදු කිරීම ප්‍රමාණවත් බවට එවකට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ බවද සඳහන් කළේ ය. එසේම ආරක්ෂක කවුන්සිල රැස්වීමට නොපැමිණෙන ලෙසට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමාට දන්වා සිටීමට ප්‍රබලම හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව බවද හිටපු පොලිස්පතිවරයා කියා සිටියේය. තවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කළ ස්වාධීන පොලිස් කොමිසම බලාත්මකව පවතිද්දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලිසියේ ඉහළ නිලධාරින් මාරු කිරීමේදී බලපෑම් එල්ල කළ බව ඔහු කොමිසමේදී සඳහන් කළේ ය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන අතර තිබූ විරසකය නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමේදී තමා අසීරුතාවට පත්වූ බවද හිටපු පොලිස්පතිවරයා කොමිසමේදී සාක්ෂි දෙමින් කියා සිටියේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ (23 වැනිදා) දෙවැනි දිනටත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්ෂි දුන් අතර සාක්ෂි විමසනු ලැබූවේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසිනි. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: යුද හමුදා බුද්ධි අංශවලින් ඔබට බුද්ධි තොරතුරු ගැන ලිඛිතව දන්වලා තියෙනවද? පූජිත් ජයසුන්දර : ඒ ගැන නිශ්චිතව කියන්න අමාරුයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඔබ සහ හමුදාපතිවරු අතර මොනවගේ රාජකාරී සබඳතාවක්ද තිබුනෙ? පූජිත් ජයසුන්දර : යහපත් සබඳතාවක් තිබුණා. හමුදාපතිවරු තිදෙනාම හිතවත්ව හිටියා. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේදී ආරක්ෂක ලේකම් සමග කටයුතු කිරීමේදී අපහසුතාවක් තිබුණද? පූජිත් ජයසුන්දර : මගේ මට්ටමින් අවශ්‍ය කටයුතු කරන්න අපහසුතාවක් තිබුණේ නැහැ. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඔබ සහභාගි වූ රැස්වීමක ජාතික බුද්ධි ප්‍රධානි මුලසුන දැරුවද? පූජිත් ජයසුන්දර : මගේ මතකයේ හැටියට නැහැ. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සමග මොන වගේ සබඳතාවක්ද තිබුණේ? පූජිත් ජයසුන්දර : හොඳ සබඳතාවක් තිබුණා. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න අතර මොනවගේ සබඳතා ද තිබුණේ? පූජිත් ජයසුන්දර : හොඳ සුහද සබඳතාවක් තිබුණා. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් සමග මොන වගේ සබඳතාවක්ද තිබ්බේ? පූජිත් ජයසුන්දර : යහපත් සබඳතාවක් තිබුණා. ඔහු බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලට නිතර පැමිණියේ නැහැ. කොමිසම : අඟහරුවාදා රැස්වීම් නිතිපතා නොපැවැත්වීමට හේතුව මොකක්ද? පූජිත් ජයසුන්දර : ඒ පිළිබඳ නිශ්චිතව දන්නේ නැහැ. සභාපති විනිසුරු : පොලිස්පති ලෙස බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ නිත්‍ය සාමාජිකයකු වන්නේ ඇයි? පූජිත් ජයසුන්දර : බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ ඉදිරිපත්වන කරුණු අනෙක් කටයුතුවලට වඩා වැදගත් නිසා. ආරක්ෂාව සම්බන්ධව බුද්ධි කටයුතු අවශ්‍යතාවන් පැන නගින නිසා මම සහභාගි වුණා. කොමිසම : ඔබ ජනාධිපතිගේ උපදෙස් ගන්නේ නැතිව අගමැති උපදෙස් ගන්න ගියාද? පූජිත් ජයසුන්දර : නැහැ. එහෙම ජනාධිපතිගේ සහ අගමැතිගේ ආරවුල් තත්ත්වයන් නිසා උපදෙස් ගැනීමේදී අසීරු තත්ත්වයකට පත්වුණු අවස්ථා තිබුණා. කොමිසම : ඔබට ඇතිවුණ අසීරුතා මොනවද? පූජිත් ජයසුන්දර : මට අවසන් කාලයේ ලොකු අසීරුතාවකට මුහුණ දෙන්න වුණා.මම පොලිස්පති තනතුරේ ඉන්නකොට මේවා කියන්න බැහැ. මම ඒ දේවල් මටම සීමා කරගෙන රාජකාරී කළා. කොමිසම : 2019 අප්‍රේල් 19 සහ 20 පොලිසියට සහය හමුදාවෙන් ලැබුණද? පූජිත් ජයසුන්දර : මේකෙන් සුවිශේෂී වූ ව්‍යාකූලතාවක් තිබුණා. පොලිස්පති ලෙස මට තිබුණු හැකියාව අනුව රාජ්‍ය ප්‍රතිපත්ති, උපදෙස්, නියෝගවලට අනුව මම පොලිස්පති ලෙස කටයුතු කළා. කොමිසම : ව්‍යාකූල තත්ත්වයක් තිබුණා කියලා ඇයි ඔබ කිව්වේ. පූජිත් ජයසුන්දර : වැඩ කටයුතු කරන්න නම් නිශ්චිත නියෝග තිබිය යුතුයි. එවකට තිබ්බ සමාජයීය හා දේශපාලන ප්‍රවණතා සමග ලැබී තිබූ උපදෙස්වල බරපතළ තත්ත්වයක් තිබුණා. එවකට ගන්න තිබ්බ උපරිම පියවර සීමාවල්වලට යටත්ව ගත්තා. කොමිසම : සබඳතා ශක්තිමත්ව තිබුණා නම් හමුදා සහය ලබා ගන්න තිබුණද? පූජිත් ජයසුන්දර : හමුදා සහාය ලබා ගැනීම පොලිස් කාර්යභාරයට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ වගකීම තිබිය යුතුයි. සභාපති විනිසුරු : ජාතික ආරක්ෂාව ගැන ඔබ අගැමති හා ජනාධිපති සමග සමබරව කටයුතු කළා කිව්වා. මොනවද ‘සමබරව’ කළේ? පූජිත් ජයසුන්දර: සමහර වෙලාවට එන යම් මට්ටමක බලපෑම්වලට අවනත නොවී පුළුවන් තරම් දුරට සේවා අවශ්‍යතාව අනුව කටයුතු කිරීමයි සමබරව කටයුතු කළා කිව්වේ. සභාපති විනිසුරු : ජනාධිපති, අගමැති එකම කරුණු සම්බන්ධයෙන් විවිධ උපදෙස් දුන්න අවස්ථා තිබුණාද? පූජිත් ජයසුන්දර : ඔව්. කොමිසම : ඔබ කියන කරුණු අනුවම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමක් පිහිටුවා තිබුණත් එයට වෙනත් පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වුණා කියලද ඔබ කියන්නේ? පූජිත් ජයසුන්දර : එකඟ වෙන්නේ නැහැ. මුල ඉඳලා කටයුතු කරගෙන ආපු විදිහ පිළිබඳ බැලුවහම නිර්ණායක ගැන ඉතා පැහැදිලිව කටයුතු කරපු අවස්ථා තිබුණා. සභාපති විනිසුරු : වෙනත් පර්ශ්වයන්ගෙන් බලපෑම් ආවද? පූජිත් ජයසුන්දර: අවසාන කාලයේදී ආවා. මුල් කාලයේදී නැහැ. සභාපති විනිසුරු : අවසාන කාලය කිව්වේ? පූජිත් ජයසුන්දර : 2018 මුල 2017 කාලයේ අග. අභියාචනාධිකරණ විනිසුරු : ඔබ සඳහන් කළා ඒ කාලේ ඔබට කතා කරන්න විදිහක් තිබුණේ නැහැ කියලා. දැන් ඔබට කතා කරන්න පුළුවන්නේ. ආරක්ෂක කවුන්සිලයට යන ගමන වාරණය වුණේ ඇයි කියන්න? පූජිත් ජයසුන්දර : 2018 ඔක්තෝබර් 23 එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න හිටියේ. මගේ මතකයේ හැටියට ඔය දිනයට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් තිබුණේ පස්වරු 5ට. නමුත් 4.30 වෙද්දිත් මම දැනුවත් කිරීමක් වුණේ නැහැ. මම ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නගෙන් මේ ගැන ඇහුවා. ‘‘සර් අද සිකියුරිටි කවුන්සිල් එක තියෙනවා නේද’’ කියලා. එත​කොට එතුමා කිව්වා, ‘පූජිත් කනගාටුයි. මම මේක කියාගන්න අපහසුතාවක හිටියේ. දැන් ඔබ ඇහුව නිසා මම කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔබට එන්න එපා කියලා.’’ ඊට පස්සේ මම ඇහුවා ඒ වෙනුවට කවුරු හරි එවන්නද කියලා. නැහැ. එහෙම අවශ්‍ය වුණොත් පස්සේ කියන්නම් කියලා එතුමා මට කිව්වා. මං ආයෙ ඒ ගැන එතුමාගෙන් ප්‍රශ්න කළේ නැහැ. ඒක ජනපතිගේ නියෝගයක් නිසා. නමුත් මම පස්සේ ලොකු අපහසුතාවට පත්වුණා. මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපහසුතාවට පත්වුණා. මේ දේවල් එක්ක. කොමිසම: ඔබ ඇයි කියලා පෙරළා වමසුවේ නැහැනෙ. ඔබට හැඟෙනවද පෙරළියක ඇරඹුම එතන තිබුණෙ කියලා? පූජිත් ජයසුන්දර: ඔය කියන පෙරළියක ඇරඹුම මට හිතුණ විදිහට ඇරඹුණේ දළ වශයෙන් 2012, 2013, 2014 කාලවල. මේ තත්ත්වයන් පසෙකලා පාලනයෙන් තොරව පියවර නොගෙන ගියපු සමස්ත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. කොමිසම: ඔබේ ගමන වාරණය කිරීමටත් මෙම සිදුවීම් සිදුවුණා කියලා ඔබට හිතෙනවාද? පූජිත් ජයසුන්දර: පොලිස්පති හැටියට මොකද්ද වෙන්නෙ කියලා නොදැනීම එය ප්‍රබල හේතුවක්. අභියාචනාධිකරණ විනිසුරු: එදා දන්නේ නැති වුණාට දැන් දන්නවනේ හේතුව, ඔබට එය පැහැදිලි කරන්න පුළුවන්ද? පූජිත් ජයසුන්දර: මේකට ප්‍රබලම හේතුන් වුණේ අයි.පී. නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවීම, ආරම්භයේ පටන් නොයෙක් නොයෙක් වැරදි මත කාගෙවත් පව් සේදීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් කියන්න පුළුවන්. අයි.පී. නිශාන්තගේ ස්ථාන මාරුවීම් පිළිබඳ මම ගත්ත පියවර ගැන විවේචනයක් හා මාව අපහසුතාවයට පත් කිරීම තමයි ප්‍රබලම හේතුව. වෙන වෙන අයගේ පුරෝකථනවල වැරදි වැටහීම් ජනාධිපති ඇතිකර ගත්තා. කොමිසම: ඔබ වටේ ගිහින් මොනවද කියන්නෙ. මේ මොකද්ද වුණේ කියලා ඇතුළට බැහැලා පැහැදිලි කරන්න? පූජිත් ජයසුන්දර: ඒකේ කරගෙන හිටිය පරීක්ෂණ ගොඩක්. ඒ සම්බන්ධයෙන් රවි වි​ජේගුණරත්න මහතාගේ සහයකයෙක් ගැන පරීක්ෂණ කළා. තව තිබුණා හමුදා අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම්, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් පරීක්ෂණ. ආරක්ෂක මණ්ඩලවලදී මේ ගැන කියවුණා. අයි.පී. නිශාන්ත නිලධාරියා පළිගන්න කටයුතු කරනවා. වහාම මේ නිලධාරියා ඉවත් කරන්න කියලා ජනාධිපතිවරයා කිව්වා. මම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිට හා අධ්‍යක්ෂ ශානි අබේසේකර එක්ක කතා කළා. මේකට කරුණු ඉදිරිපත් කරන්න කියලා. මේ නිලධාරියා ගැන විනයානුකූල පරීක්ෂණ ගත යුතු බවට ලිඛිතව ඉදිරිපත් කළා ජනාධිපතිට. මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා ජනාධිපති ගාවට රැගෙන ගියා මේ ගැන කියන්න. මේ සිද්ධිය වුණේ ජනාධිපති විදේශගත වෙනකොට. මගේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරලා කොහොමද මේක කරන්නෙ කියලා උපදෙස් ගන්න මට නියෝග කළා. ඊට දවස් දෙකකට පස්සෙ ජනාධිපති විදේශගතව සිට ලංකාවට ආවා. මේ වෙලාවේ, මම ගියා ඔහුව හමුවෙන්න හා ගුවන්තොටුපොළට ආරක්ෂාව දෙන්න. ජනාධිපති අධිවේගී මාර්ගයෙන් ආවට පස්සෙ මම ඊට විනාඩි 10ක් 15කට පසුව ආවා. මට දුරකථන ඇමතුමක් ආවා. ඒ ජනාධිපතිතුමාගෙන්. එතුමා කෙහෙද කියලා ඇහුවා. මම කිව්වා ‘‘සර් මම අධිවේගී මාර්ගයේ එන ගමන් කියලා.’’ ​‘‘මොකද්ද මේ නිශාන්ත සිල්වා ට්‍රාන්සර් කළේ’’ කියලා ජනාධිපති මගෙන් ඇහුවා. ‘‘මමයි ට්‍රාන්සර් කළේ’’ කිව්වා. ‘‘මොකටද කළේ?’’ කියලා ජනපති ඇහුවා. ‘‘ඔබතුමානේ කිව්වේ’’ කියලා මම කිව්වා. ‘‘නැහැ මම කිව්වේ නැහැ’’ කියලා එතුමා කිව්වා. ‘‘ඔබතුමා මට කීප වතාවක් කළ යුතුමයි කියලා කිව්ව’’ කියල මම කිව්වා. ‘‘කවුද කිව්වේ මගේ සෙකට්‍රිට ගන්නකො’’ කියලා ජනාධිපතිතුමා ෆෝන් එක තිබ්බා. මම ආරක්ෂක ලේකම්ට ඒ වෙලාවෙම කතා කරලා කිව්වා. මෙහෙම දෙයක් වෙයි කියලා. ඔබතුමාට ජනාධිපති කතා කරයි කියලා. පස්සේ මට ආයෙ කෝල් එකක් ආවා. වහාම ඕක කැන්සල් කරන්න කියලා. පැය 24ක්වත් ගියෙ නැහැ. මම පොලිස් කොමිසමට කිව්වා. නිශාන්ත සිල්වාගේ මාරුවීම කැන්සල් කරන්න. කොමිසම: මොකද්ද හේතු වුණේ මේකට? පූජිත් ජයසුන්දර: මේක පිළිබඳ දේශපාලන වශයෙන් මැති ඇමැතිවරුන්ගෙන් ජනාධිපතිට එක එක තොරතුරු ලැබිලා ඇති බව මට ආරංචි වුණා. සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර කතා කරලා තිබ්බා කියලත් මට දැනගන්න ලැබුණා ආරංචි මාර්ගවලින්. කොමිසම: ඒ කාලේ කටපියන් හිටියට දැන් කියන්න පුළුවන් දේවල් තියෙනවද ඔබට? පූජිත් ජයසුන්දර: තිබුණා. ස්වාමීනී අවශ්‍යතාවය අනුව කියන්නම්. කොමිසම: පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරුණු මොනවද තියෙන්නෙ? පූජිත් ජයසුන්දර: ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳව යම් පරීක්ෂණවල ක්‍රියා සම්බන්ධ කටයුතු ගැන 2018 මුල කාලයේ මේ ගැන මම ඇමැතිවරුන්ට, ජනාධිපති අගමැතිට ඉදිරිපත් කළා. නාලක සිල්වාත් මාත් එක්ක තුන්වතාවක් ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිවසට ගියා. මේ තොරතුරු කිව්වා. ප්‍රසන්ටේෂන් දාලා ජනාධිපතිතුමාට මේ ගැන ඉදිරිපත් කළා. ඊට පස්සේ දෙවතාවක් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කිව්වා ජනාධිපතිවරයා මට කතා කරනවා කියලා. මම කිව්වා ඉතින් යන්න කියලා. අවසාන වශයෙන් ජනාධිපතිවරයා කිව්වා මේක සංවේදී වැඩක්. සිරියාවේ අපේ අය මැරිලා ඉන්නවා. අවුරුදු 30ක් අපි බැට කෑවා. මේක තව ප්‍රශ්නයක් තියෙනවා මුස්ලිම් අයගේ ප්‍රශ්නයක් ලෝක අර්බුද තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මුස්ලිම් මැති ඇමැතිවරුන් රජයේ ඉන්නවා. ඒ අයගෙන් ආණ්ඩුවට බලපෑම් වෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සමින් මේ පරීක්ෂණ කරන්නකො කියලා කිව්වා. එහිදී මෙසේ කළ යුතුයි කියලා බුද්ධි අංශවලින් ඒත්තු ගැන්නුවෙ නැහැ. පසුව ජනාධිපති මට කිව්වා ‘‘පූජිත් මේක පිළිබඳ කිසිම පරීක්ෂණයක් කරන්න එපා. මේක රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත කරපුවාම ඇති කියලා. මට මේක ගැන ලොකු අපහසුතාවයක් තියෙනවා. එතකොට ඒ ගැන කටයුතු එහෙම වෙනකොට මේ කාලයේ සම්බන්ධ වෙනවා එවකට තිබුණු ගැටීම්, උදාහරණ වශයෙන් ගාල්ලේ ගිංතොට සිද්ධිය. මම එහෙ ගිහින් දවස් තුනක් හිටියා. මෙහිදී මුස්ලිම් ආගම, බුද්ධාගම අය අතර ගැටුම් ඇතිවුණා. මේ වගේ ප්‍රවණතාවක් මේ කාලේ තිබුණා. කොමිසම: ඔබ පොලිස්පති ලෙස කලකිරුණද? පූජිත් ජයසුන්දර: ඔව් ​කොමිසම: ඔබ කලකිරීමෙන්ද කටයුතු කළේ? පූජිත් ජයසුන්දර: මට මේ දේවල් කියන්න අහන්ඩ දෙයක් නැහැ. මේක ගැන කාටවත් කියන්න බැහැ. මම උපරිමයෙන් මගේ රාජකාරිය පොලිස්පති ලෙස කටයුතු කළා. කොමිසම: පාස්කු ප්‍රහාරය ගැන කටයුතු කිරීමට ඔබේ බිඳුණු මානසිකත්වය බලපෑවාද? පූජිත් ජයසුන්දර: ඒක මගේ පෞද්ගලික දෙයක්නේ. මානසික බිඳවැටීම්. ඒක මගේ රාජකාරිවලට ඈඳා ගත්තේ නැහැ. ඒක ඒකට හේතුවක් වුණේ නැහැ. අතිරේක සොලිසිටර් ජනරාල්: ඔබට කවදාහරි ආරක්ෂක කවුන්සිලයේ මේ දේවල් ලැබිලා තියෙනවා කියලා සටහන් ලැබිලා තියෙනවද? පූජිත් ජයසුන්දර: නැහැ? මට ලැබිලා නැහැ. අතිරේක සොලිසිටර් ජනරාල්: අගමැති රනිල් වික්‍රමසිංහ මෙම රැස්වීම්වලට සහභාගි වුණාද? පූජිත් ජයසුන්දර: ඔව් අතිරේක සොලිසිටර් ජනරාල්: ඔබ සහ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැති විරසක තත්ත්වයන් ඔබ කොමිසමේ කිව්වනේ. මේ විරසක තත්ත්වයන් ඇතිවුණේ කොයි කාලේද? පූජිත් ජයසුන්දර: 2017 වගේ තමයි. මෙය ප්‍රකාශ වුණේ ආරම්භයේ සිට විරසකය තියෙන්න ඇති කියලා හිතෙනවා. කොමිසම: අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු දින ඔබ ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි වුණේ කොහොමද? පූජිත් ජයසුන්දර: එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එන්න කිව්වා. කොමිසම: එතන ගිහින් මොකද වුණේ? පූජිත් ජයසුන්දර: සිද්ධිය ගැන කතා කළා. නිලධාරීන්ට. ජනාධිපතිතුමා, සෘජුවම මටත් ආරක්ෂක ලේකම්ටත් චෝදනා කළා. මට චෝදනා කළා එය දැනුම් දුන්නේ නැහැ කියලා. මම එකට එක කියන්න ගියේ නැහැ. මම නිහඬව හිටියා. සභාපති විනිසුරු: ජනපති නියෝග කළ පසුත් ත්‍රස්ත විමර්ශන අංශය සහරාන් ගැන කටයුතු කළාද? පූජිත් ජයසුන්දර: රහසිගත පරීක්ෂණ දිගටම කරගෙන ගියා. අතිරේක සොලිසිටර් ජනරාල්: ඔබ කිව්වා 2017 අවසානයේ 2018 මුල් අවස්ථාවේ මුස්ලිම් අන්තවාදය ගැන පරීක්ෂණ සිදුකරන්න එපා කිව්වා කියලා. පූජිත් ජයසුන්දර: ඔව්. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඔබට මෙලෙස පරීක්ෂණ කරන්න එපා කියලා ජනාධිපති උපදෙස් දුන්නේ සමස්ත මුස්ලිම් අන්තවාදීන් ගැනද? සිරියාවේදී මියගිය රිම්සාන් ගැනද? පූජිත් ජයසුන්දර: සහරාන් සම්බන්ධ අන්තවාදී ඉගැන්වීම් සහ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිරියාවේ තිබූ ගැටුම් සහ දේශනාත්ම අන්තවාදී ක්‍රියා පිළිබඳව නැතුව රිම්සාන් ගැන නොවෙයි. එහෙම කිව්වෙ. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සාක්ෂි විමසීමට සවන් දීම සඳහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (23 වැනිදා) කොමිසමට පැමිණි අතර අඩහෝරාවක පමණ කාලයක් කොමිසමේ රැඳී සිටිමින් පිටත්ව ගියේය. වරුණි පෙරමුණ
 

More News..