brand logo

සහරාන්ගේ තොරතුරු රැගෙන එෆ්.බී.අයි. ශ්‍රී ලංකා අධිකරණයට

07 September 2019

ඇමෙරිකන් එෆ්. බී. අයි. (ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගෙෂන්ස්) ආයතය මගින් සහරාන්ගේ අපරාධ ස්ථාන අටක තාක්ෂණික සාක්ෂි තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා ලදී. ඉන් විශ්ලේෂණය කළ සිද්ධීන් හයක පමණ වැදගත් තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනය කිරීමට තාක්ෂණික පහසුකම් නොමැති එම සාක්ෂි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් මත ඇමෙරිකන් එෆ්.බී.අයි. ආයතනයට පසුගිය මැයි මාසයේ දී ලබා දී ඇත. ඒ අනුව පසුගිය මැයි මාසයේ දී ඇමෙරිකන් එෆ්.බී.අයි. ආයතනයේ විශේෂ විද්‍යාගාර පහසුකම් සහිත ගුවන් යානයකින් පැමිණි නිලධාරින් පිරිසක් එම තාක්ෂණික සාක්ෂි රැසක තොරතුරු මෙරට දීම විශ්ලේෂණය කර වාර්තා ලබා දී ඇත. ඉතිරි ඒවායෙන් උපුටා ගත් කොටස් තිහකට ආසන්න ප්‍රමාණයක් එරටට රැගෙන ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව ඉදිරි දිනවල අධිකරණය ඉදිරියේදී සාක්ෂි ලබා දීම සඳහා එම ඒකකයේ නිලධාරීන් මෙරටට පැමිණීමටද නියමිත බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කර සමාජයේ ජන කැලඹීමක් ඇති කිරීමට කටයුතු කිරීමට සූදානම් වූ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද කටයුතු යොදා ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද සැලසුම් කර ඇත. ඉදිරි දිනවලදී නම් ලද එවැනි අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයන් කීප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ අතර ප්‍රධාන හිමිනමකද වන බව වාර්තා වේ. මධුභාෂණ හේරත්
 

More News..