brand logo

සහනාධාර කප්පාදුවෙන් තේ වගාවත් කප්පාදුවට

27 July 2019

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය තේ නැවත වගාව, තේ අලුත් වගාව සහ තේ පැළ සිටුවීම යන ක්‍ෂේත්‍ර සඳහා සහනාධාර දීම ක්‍රමයෙන් කප්පාදු කර සිටිතියි එහි සේවකයෝ කියති. ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙම වර්ෂයේ (2019) කුඩා තේ ඉඩම් හිමියන්ට වගා සහනාධාර කිසිවක් ගෙවා නැති අතර 2018 වසරේ වගා සහනාධාර සඳහා ගෙවිය යුතුව ඇති මුදලින් රුපියල් දසකෝටි තිස්තුන් ලක්‍ෂයක පමණ (රුපියල් මිලියන 133) මුදලක් හිඟ පියවා තිබේ. කුඩා තේ ඉඩම් හිමියන් දිරිගැන්වීම සඳහා රජය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඔස්සේ තේ නැවත වගාවට හෙක්ටයාරයකට රුපියල් පන්ලක්‍ෂය බැගින් ද, තේ අලුතින් වගා කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් තුන් ලක්‍ෂ පනස්දාහක් බැගින් ද සහනාධාර සපයයි. 2018 වසරේදී තේ නැවත වගා කිරීමේ සහනාධාර ඉල්ලා අයැදුම්පත් දසදහස් හත්සිය පනහක් ලැබී තිබිණි. එහෙත් සහනාධාර දීම සඳහා තෝරා ගෙන තිබුණේ එයින් අයැදුම්පත් නවසිය හතළිස් හතක් පමණක් බවද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවකයෝ පවසති. ශ්‍රී ලංකාවේ කුඩා තේ ඉඩම් හිමියන් වැඩි සංඛ්‍යාවක් සිටින රත්නපුර දිස්ත්‍රික්කය සඳහා 2018 වසරේ වගා සහනාධාර ගෙවා ඇත්තේ සියයට පනස් පහකට පමණකි. ඊළඟට කුඩා තේ ඉඩම් වැඩිම සංඛ්‍යාවක් තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයට වගා සහනාධාර ගෙවා ඇත්තේ සියයට හැටහතරක් පමණි. 2018 වසරේ වගා සහනාධාර අඩුවෙන්ම ගෙවා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කය වන අතර එය සියයට හතළිස් අටකි. දැනට ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිපැයුමෙන් සියයට හැත්තෑ පහක් සැපයෙන්නේ කුඩා තේ වතු හිමියන් වෙතිනි. එස්. නාරායන්
 

More News..