brand logo

සරසවි ප්‍රවේශයට අයැදුම්පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

17 June 2021

සංචරණ සීමා මධ්‍යයේ වුවද මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේ කාලය හෙටින් (18 වැනිදා) අවසන් වන අතර එම කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ද කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම කාලයේදී යම් සිසුවකුට අයැදුම් කිරීමට නොහැකි වූයේ නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු ඔවුන් ඉදිරිපත් කෙරෙන අයැදුම්පත් භාර ගන්නා බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (16 වැනිදා) පැවසීය. ලැබී තිබෙන අයැදුම්පත් අනුව ප්‍රවේශ කටයුතු ආරම්භ කර කඩිනමින්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉසඩ් ලකුණු නිකුත් කිරීමට පියවර ගන්නා බවත් කී සභාපතිවරයා ඊට පෙර විෂය නිර්දේශ දෙක යටතේ විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රතිශත ප්‍රසිද්ධියට පත් කරන බවත් ප්‍රකාශ කළේය. සංචරණ සීමා මධ්‍යයේ මෙතරම් අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබීමෙන් කොමිෂන් සභාවේ ප්‍රවේශ ක්‍රියාවලියේ සාර්ථකත්වය පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා සඳහන් කළේය. මාර්ග ගත ක්‍රමයට පමණක් මෙවර අයැදුම්පත් භාර ගැනුණු අතර අයැදුම්පත් කැඳවීම ආරම්භ කළ වහාම තිස් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යොදවා දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්කරුවන්ගෙන් උද්ගත වූ ගැටලු නිරාකරණය කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් හතළිස් දහසකට අධික පිරිසක් ඇතුළත් කර ගැනේ. නිලන්ත මදුරාවල
 

More News..