brand logo

සරසවියට සිසුන් ගන්නා ක්‍රමවේදය නීති විරෝධියි

06 January 2020

මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගෙන ඇති තීරණය වෙනස් නොකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍යා පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තීරණය කර ඇත. මේ සඳහා 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හා දෙමව්පියන් සම්බන්ධ කර ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක් එම කමිටුව ආරම්භ කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05 වැනිදා) පැවැති අතර ඉහත තීරණය ගෙන ඇත්තේ එහි දී ය. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු කසුන් තාරක ‘අරුණ’ට ඊයේ ( 05 වැනිදා) පැවසීය. නව හා පැරණි නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක්‍රමය මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම ක්‍රමය නීති විරෝධී යැයි ද හෙතෙම කීවේය. 2011 වසරේ නව හා පැරණි නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට අදාළව දුන් නඩු තීන්දුවට පිටින් වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ද එමගින් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව ද කැඳවුම්කරු පවසයි. නව හා පැරණි නිර්දේශ යටතේ උසස් පෙළ විභාගය පැවැති ඉකුත් 2011 වසරේ දී විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කළ ක්‍රමය වෙනුවට මෙවර ප්‍රතිශත ක්‍රමයක් අනුගමනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. එම වසරේ දී අනුගමනය කර ඇත්තේ පෙර පස් වසරේ දී පළමු වරට හා දෙවැනි වරට විභාගයට පෙනී සිට ඒ ඒ පාඨමාලාවන් සඳහා ඇතුළත් කළ ප්‍රතිශතයන්හි වැඩිම ප්‍රතිශතය සැලකිල්ලට ගනිමිනි. එම ක්‍රමය අනුගමනය කර ඇත්තේ නඩු තීන්දුවකට අනුව ය. එහෙත් මෙවර විෂය නිර්දේශ දෙක යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කිරීමට නියමිතව ඇත්තේ 2013 වසරේ සිට 2017 වසර දක්වා පළමු වරට හා දෙවැනි වරට විභාගයට පෙනී සිටි සිසුන් ඒ ඒ පාඨමාලාවන්ට ඇතුළත් කළ ප්‍රතිශතයන්හි මධ්‍යන්‍ය අගය සැලකිල්ලට ගැනීමෙනි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රකාශ කරන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙවර නව ක්‍රමයක් අනුගමනය කිරීමට තීරණය කර ඇත්තේ අදාළ නඩු තීන්දුවට පිටින් බව ය. නිලන්ත මදුරාවල
 

More News..