brand logo

සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06කට එරෙහිව ගොනු කර ඇති නඩුව 01වනදා දක්වා කල්යයි

30 September 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් හිටපු එම වකවානුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ පැවති ප්‍රචාරක රැස්වීමකට වියදම් කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පරිගණක සාක්ෂි උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට ඉඩ දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නීතිපතිවරයාට නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහින්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂි වශයෙන් පරිගණක වලින් උත්පාදනය කළ ලේඛන ගණනාවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති හෙයින් එම ලේඛණ උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා එම සාක්ෂි උත්පාදනය කළ අදාළ පරිගණක පද්ධති විත්තියේ නීතිඥවරු ට පරික්ෂා කිරීම සඳහා අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වරයාට නියෝග කළේය. අනතුරුව නඩුවේ වැඩිදුර විමසීම නොවැම්බර් මස 01 වනදා තෙක් කල් තැබුණි. පසුගිය ජනාධිපතිවරණය සමයේ මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව මගින් වෙන්කර තිබූ රුපියල් මිලියන 14 කට ආසන්න රජය මුදලක් එවක ජනාධිපති අපේක්ෂකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ පැවති දේශපාලන ප්‍රචාරක රැළියක කටයුතු සඳහා වැය කිරීම තුළින් රජයේ අරමුදල් ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරන පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බරපතළ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් කරන ලද නිර්දේශයකට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබීම විශේෂත්වයකි. (අධිකරණ වාර්තාකරු)
 

More News..