brand logo

Update - සරණ ගුණවර්ධනට ඇප

07 January 2020

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව, වසර 03ක සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදාහැර ඇත. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙතින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබාදී ඇති අතර එම අභියාචනාවට යටත්ව රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇපමත ඔහු මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත

සරණ ගුණවර්ධනට වසර 03ක සිර දඬුවම්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කර ඇත. 2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960000/- ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි. දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළාය. ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.
 

More News..