brand logo

සයිබර් අවකාශයේ හිඟා කන ටෙලි නාට්‍යය

05 December 2020

ඉස්සර අපි ටෙලිනාට්‍ය බැලුවේ ටී.වී. එකේ විකාශනය වෙන වෙලාවට. රාත්‍රි 8.30 නාට්‍යය මගහැරුණොත් ආයේ බලන්න වෙන්නේ නැහැ. හැබැයි අද අපිට ඕන වෙලාවට තමයි නාට්‍ය බලන්නේ. අන්තර්ජාලයේ ඕන වෙලාවකට නාට්‍ය බලන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකට ඇප් එකක් දාගෙන තමන්ට ඕන වෙලාවට ටෙලි නාට්‍ය බලන සංකල්පය දැන් ආරම්භ කරලා. සයිබර් බෙගර්ස් කියන්නේ ජංගම දුරකථනයෙන් බලන්න පුළුවන් නාට්‍යයක්. ‘‘දුරකථනයට විව් දාගත්තම බලන්න පුළුවන් ටෙලි නාට්‍ය කීපයක්ම තියෙනවා. මේක අලුත්ම ටෙලි නාට්‍ය බැලීමේ සංකල්පය කියන්න පුළුවන්. මිනිසුන්ට ඉස්සර වගේ සාලේ ඉඳගෙන ටී.වී. බලන්න කාලයක් නැහැ. තමුන්ට ඕන වෙලාවක බලන්න පුළුවන් ආකාරයට තමයි සයිබර් බෙගර්ස් නාට්‍ය හදලා තියෙන්නේ.’’ නිෂ්පාදන කණ්ඩායම ඒ ආකාරයට නව මානයකට ටෙලි නාට්‍ය කලාව රැගෙන යනකොට සයිබර් බෙගර්ස් අධ්‍යක්ෂ කසුන් හීනටිගල ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එතතු වුණා. ‘‘මේක ජාත්‍යන්තර මට්ටමේ වැඩක් කියලා කියන්න පුළුවන්. ජංගම දුරකථනයෙන් ටී.වී. සීරීස් හඳුන්වාදීම ලංකාවට අලුත් දෙයක් වුණාට ලෝකයට නම් අලුත් දෙයක් නෙමේ. ඇප් එක දාගත්තම තමන් කැමති නාට්‍ය මාලාව එක දිගටම ඕන වෙලාවක බලන්න පුළුවන්. සයිබර් බෙගර්ස් කියන්නේ ඒ ආකාරයට නිර්මාණය වුණ අලුත්ම ටෙලි නාට්‍යය. මේ නාට්‍ය කිසිම දිනයක ඔබට රූපවාහිනියෙන් නරඹන්න ලැබෙන්නේ නැහැ. මේ නාට්‍යයේ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළේ මම. කාලයක් තිබුණා නාට්‍යයක් කරලා ඒක පෙන්නන්න අවුරුදු ගණනක් බලාගෙන ඉන්න ඕන. අපි වගේ තරුණ අයට රූපවාහිනී නාළිකාවල ඉඩ වෙන්වෙන්නේ කලාතුරකින්. නමුත් දැන් එහෙම නැහැ. මම නාට්‍ය නිර්මාණය කළේ අන්තර්ජාලයේ පිහිට පතාගෙනමයි. කිසිම ප්‍රශ්නයක් නැතුව මම මගේ නාට්‍යය මේ දුරකථන ආයතනයට ලබාදුන්නා. ඉතා විශාල පිරිසක් සයිබර් බෙගර්ස් නාට්‍යය නරඹලා තියෙනවා. අනාගතයේ තරුණ නිර්මාණකරුවන්ට මෙය හොඳ අවස්ථාවක් වේවි කියලා මම විශ්වාස කරනවා.’’ කසුන් හීනටිගල තමාට ලැබුණ අවස්ථාව ගැන සඳහන් කළේ ඒ ආකාරයට. ඔහු අධ්‍යක්ෂණය කරන මෙම කතා මාලාව නිර්මාණය වූ ආකාරය ගැන තිබෙන්නේ මෙවන් අදහසක්. ‘‘කොටස් දහයකට තමයි සයිබර් බෙගර්ස් නිර්මාණය කළේ. අදාළ ආයතනයත් සමග කතාබහ කරලා නාට්‍යය නිර්මාණය කරන්න සූදානම් වුණේ. පසුගිය ජූලි මාසේ රූපගත කිරීම් ආරම්භ කළේ. දවස් දහයකින් ටෙලි නාට්‍ය රූපගත කිරීම් කරලා නිමා කරන්න අවස්ථාව ලැබුණා. කොළඹ අවට රූපගත කිරීම් කරපු නිසා ඉතා ඉක්මණින් වැඩ නිමා කළා. කොරෝනා සමයේ ලැබුණ විවේකයත් එක්ක හොඳ තිර රචනයක් ලියන්න අවස්ථාව ලැබුණා.’’ නව ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම සම්බන්ධයෙන්ද ඔහු කතා කළා. ‘‘මේ කොරෝනා සමයේ අලුත්ම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා. රූපවාහිනියේ ඒකාකාරී නාට්‍ය බලලා හිරවෙච්ච ප්‍රේක්ෂකාගාරයට තමා මේ ජංගම දුරකථනයෙන් ටෙලි නාට්‍ය නැරඹීමේ කලාව හඳුන්වලා දෙන්නේ. ඉතාමත්ම සරල කාරණාවක් තියෙන්නේ. ෆෝන් එක අරගත්තා, නාට්‍යය ඉවර වෙනකම් එකදිගට බලන්න පුළුවන්. ටෙලි නාට්‍ය කලාව ජංගම දුරකථනයට ඇවිත් එහි ඇති ගුණාත්මක බව බාල කළා කියන චෝදනාව කසුන් ප්‍රතික්ෂේප කරනවා. ‘‘කොහෙත්ම කලාව හෑල්ලුවට ලක්කරලා නැහැ. රූපවාහිනියෙන් කතා කරන්න බැරි සීමාවට අපිට යන්න පුළුවන් වුණා. වාරණ නැතිව ගෙදර හැමෝටම බලන්න පුළුවන් රූපවාහිනී සීරිස් එකක් තමා සයිබර් බෙගර්ස් කියන්නේ. ත්‍රාසය, භීතිය ඒ ආකාරයටම තියෙනවා. නාට්‍යය රූපගත කළේ ඉහළ තාක්ෂණයක් භාවිත කරලා. කලන ගුණසේකර, නිනෝ ජයකොඩි, චමත්කා ලක්මිණි. සුදන් ඇන්තනි, කසුනි කාවින්දි සහ සුසිලා කෝට්ටගේ වැනි ප්‍රධාන නළු නිළියන් මෙහි රඟපානවා. රූපවාහිනී බෙල්ට් එකක් නැති එක විතරයි අඩුපාඩුව. නාට්‍යය අරගෙන පෝලිමේ ඉන්න අපිට කාලයක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් හොඳ විකල්පයක් අපි වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. සයිබර් බෙගර්ස් නාට්‍යය තියෙන්නේ ඔබේ අතේ. එහෙම නැත්නම් සාක්කුවේ. ඔබට හිතෙන ඕන වෙලාවක දුරකථනය අතට ගත්තම නාට්‍යය බලන්න පුළුවන්.’’ සයිබර් බෙගර්ස් නිර්මාණයේ ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් කසුන් හීනටිගලට ඇත්තේ මෙවන් අදහසක්. ‘‘සත්‍ය තොරතුරු මත පදනම් වෙච්ච කතාවක් තමා නිර්මාණය කළේ. අන්තර්ජාලය කියන්නේ අද ප්‍රබල මාතෘකාවක්. ඉමෝ වට්ස්ඇප් වැනි තාක්ෂණය සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා භාවිත කරන මෙවලමක් වෙලා. ජංගම දුරකථනයෙන් මිනිස්සු රැවටෙන තරමට ඔවුන් එයට බද්ධ වෙලා. ජංගම දුරකථන හොරු අද බිහිවෙලා. පාරේ හිඟාකන යාචකයෝ මට්ටමට ජංගම දුරකථන හොරු බිහිවෙලා. මේ ආකාරයට අන්තර්ජාලයෙන් මිනිසුන් රැවටීම ගැන තමා සයිබර් බෙගර්ස් තුළින් කතා කරන්නේ.’’ ‘‘අද ප්‍රේක්ෂකයෝ අන්දන්න බැහැ. රූපවාහිනිය නෙමේ කොහාට නිර්මාණය කළත් හොඳ දෙයක් නම් විතරයි ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ. මෙය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක්. හැබැයි නාට්‍යය තියෙන්නේ ජංගම දුරකථනයේ. ඕන කෙනෙක්ට නිවාඩුවේ ඉන්න වෙලාවක බලන්න පුළුවන්. ලෝකය මොන තරම් ප්‍රශ්නවලට මැදි වුණත් කලාව ඉස්සරහට යන අලුත් ක්‍රම අපි සොයාගන්නවා. ඒ එක් ක්‍රමයක් තමයි සයිබර් බෙගර්ස් කියන්නේ. විනාඩි 25 කොටස් දහයක් තියෙනවා. එක හුස්මට මේ අලුත් ටෙලි නාට්‍ය කලාව අත්විඳින්න පුළුවන්.’’ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..