brand logo

සයිටම් සිසුවියගේ පෙත්සම 7 වැනි දා විභාගයට

30 November 2018

අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනි සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළා. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිල්මි සූරියආරච්චි විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා කරන බවයි. ඒ අනුව පෙත්සම ලබන 7 කැඳවීමට අභියාචනාධිකරණය නියම කළා. පෙත්සම්කාර ශිෂ්‍යාව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම මඟින් සඳහන් කර තිබෙන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබෙන තමන්ව ලියාපදිංචි කරන මෙන් අභියාචනාධිකරණය ඉකුත් 2017 වසරේ ජනවාරි මස තිස් වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවයි. එම නියෝගය ප්‍රකාරව තමන්ව ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඇය තම පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා. මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කර සුදුසු නියෝගයක් ප්‍රකාශ කරන මෙන්ද පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
 

More News..