brand logo

සමේ රෝගයක් ඒඩ්ස් කළ - මෝඩ විදුහල්පති හා ගම්වාසීන්

10 October 2019

තල් අත්තට බෙලිගෙඩියක් වැටීම නිසා ලෝකය පෙරළෙනවා යැයි කලබලයට පත් හාවෙකු මුළු කැලයම බියට පත් කළ කතාවක් අපි කුඩා කල අසා ඇත්තෙමු. ඒ කතාව අපට ඉගැන්වූයේ කරුණු හරිහැටි සොයා නොබලා කලබල නොවිය යුතු බවය. පරම්පරා ගණනක් අප මේ කතාව අසා ඇතත්, ඉන් ඉගැන්වූ ඒ පාඩම උගෙන නැත්තා සේය. තල් අත්තකට බෙලිගෙඩියක් වැටුණු පසු කලබල වූ මෝඩ හාවා වැනි මිනිසුන් මේ පරිගණක යුගයේදීත් සමාජය බියට පත් කරමින් සිටීම කොතරම් කනගාටුදායක තත්ත්වයක්ද? ඊටත් වඩා කනගාටුදායක තත්ත්වය නම් එවැනි මෝඩ හාවුන් වැනි මිනිසුන් කියන දේ හරිහැටි සොයා නොබලා මිනිස්කමටද නිගා දෙමින් අඳ බාලයන් සේ හැසිරෙන මෝඩයන්ද සිටීමය. මෙවැනි මිනිසුන් නිසා, පියා ජීවතුන් අතර නොමැති, මවද රැකියාවකට විදේශගතව සිටින පවුලක දියණියන් හය දෙනකු ඉතා අසරණව, අවමානයට, ගර්හාවට මෙන්ම ලැජ්ජාවටද පත්ව සිටින පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මේ පුවතෙන් වාර්තා වූ අන්දමට විදේශ රැකියාවක් කරමින් සිටි මේ පවුලේ එක් දියණියක් සමේ රෝගයක් වැලඳීම නිසා යළි දිවයිනට පැමිණ තිබේ. ඇයට වැලඳී ඇත්තේ ඒඩ්ස් රෝගී තත්ත්වයක් බවට පැතිර යන කතාවක් නිසා ඒ පවුලේ දියණියන් තිදෙනකුට පාසල පවා තහනම් වී ඇති අතර, දැන් ඔවුන් පත්ව සිටින්නේ සියදිවි නසා ගන්නා තත්ත්වයකටය. මෙම පුවත අපට කියන්නේ අපේ සමාජය කොතරම් නොදියුණු, අශිෂ්ට සේම මානව දයාවෙන් තොර සේම නූගතුන්ගෙන් පිරි සමාජයක් බව නොවේද? ලොව අනෙකුත් රටවල් හා සසඳන විට අපේ සෞඛ්‍ය සේවය දියණු මට්ටමක පැවතියත් තවමත් විශ්ව ශක්තියෙන් රෝග සුව කළ හැකි බව විශ්වාස කරන අඥානයන්ගේ අඩුවක් නැත. එවැනි සමාජයක සමේ රෝගයක් ඒඩ්ස් යැයි වටහා ගැනීමට තරම් අපේ සමාජය නොදියුණු වීම තේරුම්ගත හැකි තත්ත්වයකි. අප විසඳාගත යුත්තේ අප මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කවදාද යන්නය. මවට ඒඩ්ස් ඇතැයි කියා දරුවාට පාසලක් අහිමි කිරීමේ පුවතක් ද කලකට පෙර වාර්තා විය. මේ පුවතේ කියැවෙන අන්දමට ගලේවෙල දරුවන්ටද පාසල් එන්නට එපා යැයි කියා ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයාය. සුළඟින් ‘ඒඩ්ස්’ බෝවෙනවායි කියන අධ්‍යාපන ඇමැතිවරයකු සිටින රටක මෙවැනි මොට්ට විදුහල්පතිවරුන් සිටීම පුදුමයට කරුණක් වන්නේද නැත. එහෙත් මෙවැනි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සිටින රටක අනාගත පරම්පරාවේ අනාගතයට කුමක් සිදුවනු ඇද්ද? විදුහල්පතිවරු වැනි උගත් යැයි අප සිතන අයත් හැසිරෙන්නේ මෙතරම් පහත් අන්දමට නම් වැඩිදුර අධ්‍යාපනයක් නොලත් ජනතාව ගැන කුමන කතාදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් අපගේ කල්පනාව නම් වැඩිදුර අධ්‍යාපනයක් නැතත් සාමාන්‍ය ජනතාව ඇත්තටම ඒඩ්ස් රෝගී තත්ත්වයට පත් වූ අයකුට වේවා මෙතරම් අකාරුණිකව සලකනු ඇතැයි සිතිය නොහැකි බවය. අධ්‍යාපනයක් නැතත් ඔවුන් තුළ මනුස්සකම ඇති බැවිනි. එහෙත් උක්ත දියණියන් සිටින ගමේ නම් එවැනි එක් අයකු හෝ සිටියේ නම් ඔවුන්ට සියදිවි නසා ගත යුතු යැයි සිතන්නට සිදු නොවනු ඇත. මේ අන්දමට රෝගීන් පොදු සමාජයෙන් වෙන්කර තැබීම් ගැන අපට වාර්තා වී ඇත්තේ ලාදුරු වැනි රෝග සඳහා ප්‍රතිකාර නොතිබූ ඉතා දුර අතීතයේදීය. අද වන විට ලාදුරු, ක්ෂය රෝගය වැනි රෝග මිහිතලයෙන් තුරන්වන තරමට සෞඛ්‍යය ක්ෂේත්‍රය දියුණු වී තිබේ. එහෙත් අපේ රටේ ඇත්තේ සමේ රෝගයක්ද, ඒඩ්ස් වැනි රෝගයක් යැයි පූර්ව නිගමනය කොට ඒ රෝගීන් සමාජයෙන් පිටමං කරන කාලකණ්ණි තත්ත්වයකි. මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තෙක් අදාළ බලධාරින් කිසිවෙකුත් මේ ගැන නොදැන සිටීමද ඉතාමත් පුදුම සහගතය. ඒ අතින් නම් ඔවුන්ද අයත් වන්නේ දරුවන්ට පාසල් එන්නට එපා යැයි කී මෝඩ විදුහල්පතිවරයාගේම ගණයටය. අපි වසර 30 ක් තිස්සේ ජාතීන් අතර සහයෝගීතාව, සහජීවනය, අන්‍යෝන්‍ය විශ්වාසය හා එකිනෙකාට ගරු කිරීම ගැන කතා කරමින් සිටිමු. නමුත් මේ දක්වා ඒ උත්සාහය සාර්ථක වී නැත. ඊට හේතුවන ප්‍රධාන කාරණයක් මේ ප්‍රවෘත්තිය තුළ ගැබ් වී ඇතැයි සිතමු. සමේ රෝගයක් ඒඩ්ස් යැයි ඔවුන් විසින්ම රෝග විනිශ්චය කොට ඒ රෝගීන් සමාජයෙන් කොන් කරන්නට කටයුතු කරන මේ මෝඩ ජනතාව ඇත්ත වශයෙන්ම ඒඩ්ස් රෝගියකු හමුවුවහොත් මරා දමන්නට වුවද ඉඩ තිබේ. මුග්ධභාවය ලොව ඇති දරුණුම රෝගයක් බැවිනි. මෙවැනි මුග්ධයන්ගේ පීඩාවට ලක් වූ තවත් බොහෝ දෙනකු මේ සමාජයේ සිටින්නට පුළුවන. එහෙත් එවැනි අයගේ මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිවෙකු නැත. ඒ වෙනුවෙන් පිටරටින් මුදල් නොලැබෙන නිසා විය හැකිය. කෙසේ වෙතත් ගලේවෙල දියණියන් පීඩාවට පත් කරන මුග්ධයන් වැනි අය ඇත්තේ ඉතා සුළු පිරිසක් වන අතර බහුතරය ඔවුන් මෙන් මෝඩ ලෙස තීරණ ගන්නා, ඒ අනුව කටයුතු නොකරන දියුණු මිනිසුන් බව අප සුබවාදීව සිතන්නෙමු. එහෙත් සුළුතරයක් වූ මුග්ධයන්ට එරෙහි නොවන තාක් කල් ඒ බහුතරයේ දියුණුකමෙන් මේ සමාජයට ඇති ඵලක් නැත.
 

More News..