brand logo

සමාජ රෝග නිට්ටාවටම සුව කරන පුරාණ බෙහෙත් වට්ටෝරු 2ක්

06 May 2021

අද අප සාකච්ඡාවට ලක්කරනුයේ පුරාණ හෙළ වෙදදුරා මානව ලිංගාශ්‍රිත රෝග සඳහා කළ ප්‍රතිකර්මයි. වර්තමානය වන විට මානව ලිංගය ආශ්‍රිතව පැනනැගී ඇති රෝග බොහෝමයකි. ඒඩ්ස්, ගොනෝරියා, උපදංශ, හිපලිස් ආදි නොයෙක් නාම කාණ්ඩවලින් රෝග ස්වභාවය අනුව වර්ගකොට ප්‍රතිකර්ම නියම කරයි. හෙළ වෙදකම තුළද ඊට ආවේණික නාම කාණ්ඩවලින් ලිංගාශ්‍රිත රෝග හඳුන්වා අදාළ ඖෂධ ප්‍රකිකාර නියමකර ඇත. ඇතැම් රෝග නාම වර්තමානයේදී පවා භාවිත නාම වේ. ඒ අතර උපදංශ රෝගය එක් කාණ්ඩයක් ලෙස සැලකිය හැකිය.

මෑතක මාගේ අවධානයට ලක්වූ පුස්කොළ පොතක උපදංශය නමැති රෝග නාමයන් එම රෝගයට අදාළ ඖෂධ වර්ග ඇතුළත් වට්ටෝරු කිහිපයක් විමර්ශනය කිරීමට හැකි විය.

වායුවෙන් උපන් උපදංශයට එල නෙටුල් මල්, වැල් මී, සරලඅගිල්, දේවදාරු රැත්ත, උපුල් කොළ, සුළුඹුරු මෙකී බෙහෙත් අඹරා ආලේප කරනු. පුරාණ සිංහල වෙදකමට අනුව මානව වර්ගයාට හටගන්නා සර්වාංග රෝගයන්හි මූලය වා, පිත්, සෙම් දූෂ්‍ය වී,ම අසමතුලිත වීම ලෙස පිළිගැනේ. එම නිසාවෙන් රෝගය හා රෝග නිධානයත් සඳහන් කොට ඖෂධ ප්‍රතිකාරයන් නියම කර ඇත. මෙහි සඳහන් කළ උපදංශ රෝගය වායුව කරණකොට ගෙන හටගන්නා රෝගයක් ලෙස සලකා ඇත. එලනෙටුල් මල්, වැල්මී, සලෙඅගිල්, දේවදාරු, රැත්ත, උපුල් කොළ හා සුලඹුරු යනු ඖෂධ වට්ටෝරුවයි. බෙහෙත සකස්කර ගන්නා පිළිවෙළ සඳහන් කරන තැන මෙකී ඖෂධ වර්ග හත වෙන වෙනම පමණ දැන මැනගෙන අඹරා ගැනීමට උපදෙස් දී ඇත. මෙහිදී කිසිදු දියර වර්ගයක් ඇසුරු නොකොටම ඖෂධ වර්ගම පමණක් අඹරා ගැනීම වැදගත්කොට සලකා ඇත. බෙහෙත් ගලගා හොඳින් සහ ආලේප කළ හැකි පදමට අඹරා ගැනීමෙන් අනතුරුව ලිංගේන්ද්‍රයෙහි ආලේප කිරීම ප්‍රතිකාර ලෙස සැලකේ. පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වේවා උපදංශ රෝගයෙන් පෙළෙන්නන් හඳුනාගත යුතු කරුණකි. බෝ වූ රෝගයක් වූව ද වාතය ද පිත ද සෙම ද යන ත්‍රිවර්ගයෙන් කුමන පදනමක් මත රෝගය හටගත්තාද යන වග.

අනතුරුව අදාළ ඖෂධ වට්ටෝරුවට අයත් ඖෂධ මගින් ප්‍රතිකාරය සකස් කොට භාවිත කිරීමෙන් රෝගය නිට්ටාවට සුව කර ගත හැකි බවට ඉපැරණි වෛද්‍ය මතය බව පුස්කොළ පත්ඉරු සාක්ෂි වේ.

මාගේ විමර්ශනයට භාජනය වූ මෙම පුස්කොළ පොතෙහිම පිතින් උපන් උපදංශ රෝගයට අදාළ ඖෂධ හා ප්‍රතිකර්මයක් ද නියමකොට තිබුණේ මෙලෙසිනි. පිතින් උපන් උපදංශයට හිර සඳුන්, මහනෙල්, වැල් මද, සඳුන්, සවැන්දැට ගුරුවැල්මී මෙතෙක් බෙහෙත් අඹරා ආලේප කරනු එලකිරි උක්පැනි ආදියෙන් පරිසේ කරනු මහරි සුළු රස අඳුන් මී පැණියෙන් අඹරා ගා උපදංශ නැති කරනු. පිත දූෂ්‍යවීමෙන් උපදනා උපදංශ රෝගයට නියම කළ ඖෂධ වට්ටෝරුවට ඖෂධ කාණ්ඩ නවයක් ඉදිරිපත් කොට ඇත. මෙහි සඳහන් හිර යනු වරා ලෙසද මහරි මැයි මාර ලෙසද සැලකේ. මේ අනුව වරා සඳුන් මහනෙල් වැල් මද සඳුන් සැවැන්දැට ගුරුවල්මී යන ඖෂධ වට්ටෝරුවට අදාළ ඖෂධ පමණ දැන ප්‍රමාණයෙන් ගෙන බෙහෙත් ගලගා ඉතා සිනිඳු වනසේ අඹරා ගැනීම මූලික ක්‍රමය විය. අනතුරුව ප්‍රතිකර්ම තුන් ක්‍රමයකට කරනු ලැබේ. ආලේප කිරීම සහ ඉසීම කළ යුතු වගට උපදෙස් දී ඇත. මුලින් අඹරාගත් බෙහෙත ලිංගයේ ආලේප කිරීම මූලික ප්‍රතිකර්මය වන අතර එහි දෙවන අදියර ලෙස සැලකෙනුයේ එසේ ආලේප කිරීමෙන් පසු එලකිරි හා උක්පැණි දෙවර්ග මිශ්‍ර කෙට ආලේප කළ බෙහෙත මත ඖෂධය ඉසීමය.

මෙහි තෙවන ඖෂධ ප්‍රතිකර්මය වනුයේ මහරිසුළු රස අඳුන් යන දෙවර්ගය ගෙන හොඳින් අඹරාගෙන මී පැණියෙන් මිශ්‍රකොට ලිංගේන්ද්‍රියේ හොඳින් ආලේප කිරීමය.

පිතින් උපන් උපදංශ රෝගයට ප්‍රතිකාර නියම කළ පුරාණ හෙළ වෙද ඉසිවරයා ස්ත්‍රී හෝ පුරුෂ භේදයෙන් තොරව හටගෙන ඇති උපදංශ නම් වූ හඳුනාගත් රෝගයට වට්ටෝරු තුනක් ඔස්සේ එක්වරකදීම ප්‍රතිකාර නියම කර ඇති ආකාරය විශේෂිතය. මෙම ඖෂධ ප්‍රතිකර්මවල විශ්මිත බව වනුයේ ඖෂධ ප්‍රතිකාර ශරීර අභ්‍යන්තරයට ලබානොදී බාහිර ප්‍රතිකාර මගින් පමණක් සුවපත් කිරීමට තරම් පවතින සක්‍යතාවයයි.      
 

More News..