brand logo

සමාගම් දෙකක දඟර වානේ අලෙවියට තහංචි

03 June 2020

ප්‍රමිතිය පරීක්ෂාවට ලක්කරන තුරු ප්‍රධාන පෙළේ දඟර වානේ කම්බි නිෂ්පාදන සමාගම් දෙකක දඟර වානේ කම්බි මෙට්‍රික් ටොන් විසිදෙකක් අලෙවි කිරීම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (02වැනිදා) පියවර ගෙන තිබේ. වත්තල ප්‍රදේශයේ පිහිටි ගබඩා දෙකක මෙම කම්බි තොගය ගබඩා කර තිබිණි. එස්.එල්.එස්. සහතික ලාංඡන සහිත මෙම දඟර වානේ කම්බි අදාළ ප්‍රමිතියට නොමැති බවට ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ. දිවයින පුරා පිහිටි දඟර වානේ කම්බි ගබඩා සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා තිබේ. දඟර වානේ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මිනුමක් ලෙස බර පරීක්ෂා කිරීම සිදුකරයි. දඟර වානේ කම්බි මිලදී ගත් පසු මීටරයක් දිග කැබලි හයකට කපාගත් පසු බර එක සමාන විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිතියේ සඳහන් කර තිබේ. අලෙවි කිරීම අත්හිටුවූ දඟර වානේ කම්බි මෙට්‍රික් ටොන් විසිදෙකක් පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට නියමිතය. දිවයින පුරා සියලුම වෙළෙඳසල්වල ඇති දඟර වානේ කම්බි පරීක්ෂාවට ලක්කර ඒ පිළිබඳ වාර්තා ලබන 12 වැනිදාට පෙර තමන්ට යොමු කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සියලුම විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ. උදයජීව ඒකනායක
 

More News..