brand logo

සම්මාන ඉල්ලලා අරගෙන ගෙදර තියාගන්න ලැජ්ජයි

28 March 2021

රංගන ක්ෂේත්‍රයට එන යන බොහෝ අය අතරේ තමන්ගේ තැන රැකගන්න මහන්සි වෙන කෙනෙක් තමයි රිතූ ආකර්ෂා. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන මහවිරු පණ්ඩු, සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන ඇය වගේම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන දාම් එක්ක එකකට එකක් වෙනස් චරිත ත්‍රිත්වයකින් මේ දවස්වල රිතූව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් තමන්ට කරන්න ලැබුණ දේවල් ගැන තෘප්තියක පසුවෙන්නේ නැහැ. රිතූට තමන්ගේ හැකියාව ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ලැබුණ අවස්ථා ගැන තෘප්තියක් ඇතිද යන්න දැනගන්නත් අපිට ඕන වුණා. මට නිර්මාණයක් වෙනුවෙන් තව මහන්සි වෙන්න පුළුවන්. අධ්‍යක්ෂකවරු මගේ හැකියාවෙන් තවම හරි ප්‍රයෝජනයක් අරගෙන නෑ කියලා මට හිතෙන්නේ. තව හොඳ නිර්මාණවලට මගේ හැකියාව යොදාගන්නවානම් හොඳයි. මට මං ගැන විශ්වාසයක් තියෙනවා. තව මට රංගනයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මගේ පෙනුම බටහිර පන්නයට හුරු නිසා සමහරු හිතුවේ මට ගැමි චරිත කරන්න බෑ කියලා. මාව ඒ වගේ චරිතවලට ගැළපෙන්නෙ නෑ කියලා. නමුත් මම ඒ වගේ චරිතත් කරලා පෙන්නුවා. චරිතාංග බව රැකගන්න ඇතැම් ශිල්පීන් ශිල්පිනියන් සීමා වාරණ බිඳින්න සූදානම්. නමුත් රිතූ තමන් වටා තිබෙන සීමා බැමි බිඳින්න සූදානම් නැති හැඩයි. ප්‍රේක්ෂකයන් කියන්නේ අපිට වටිනම දේ. අපි ඔවුන් වෙනුවෙන්නේ නිර්මාණයක් කරන්නේ. ප්‍රේක්ෂකයන් මාව ප්‍රතික්ෂේප කරයි කියලා හිතන දෙයක් මම කරන්න කැමැති නැහැ. ප්‍රේක්ෂකයන් අපිව ප්‍රතික්ෂේප කළොත් අපිට පැවැත්මක් හදාගන්න පහසු නැහැ. ක්ෂේත්‍රයට ඇවිත් වසර දහයක් ගත වුණත් රිතූට සම්මානයක හිමිකාරිනියක් වෙන්න තවම අවස්ථාව ලැබුණේ නැහැ. සම්මාන ගැන ඕන කෙනෙක්ට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. මටත් ඒ බලාපොරොත්තුව තියෙනවා. හැබැයි හදිසියක් නැහැ. සුදුසු වෙලාවක මටත් සම්මානයක් ලැබෙයි. බලෙන් සම්මාන ගන්නනම් මගේ කිසිම සූදනමක් නැහැ. එහෙම සම්මාන අරන් ගෙදර ඒ සම්මාන තියන්නත් මට ලැජ්ජයි. සම්මාන නොලැබුණත් මට ස්වර්ණා මල්ලවාරච්චි වගේ රංගන ශිල්පිනියක් වෙන්න තිබ්බොත් ඇති. ඇය මම බොහොම ගරු කරන ආදරය කරන රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් වෙන්න පෙරාතුව රිතූ හීන දැක්කේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් ඒ හීනය පැත්තක තියලා ඇයට රංගන ශිල්පිනියක්වීමට සිදු වුණා. නිළියක් වෙන්න ලැබීම වාසානාවක් කියලා මටනම් දැනෙන්නේ. ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කළාම බැණුම් අහන්නත් වෙනවා. අපේ ක්ෂේත්‍රයටත් බනින අය විවේචනය කරන අය ඉන්නවා. නමුත් රංගන ශිල්පිනියක් වීම නිසා ලැබෙන ප්‍රේක්ෂක ආදරය සුළුපටු නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලයේ ඉඳන් මේ වෙනකල් වැඩ නැතුව ගෙදර ඉඳලා නැහැ. මම අඩියෙන් අඩිය ඉදිරියට ගියා මිසක් ආපස්සට ආවේ නැහැ. මම මගේ තැන හදාගත්තේ මගේ දක්ෂතාවයෙන්. ප්‍රේක්ෂක ආදරය එක්ක මට රංගන ක්ෂේත්‍රයේ යන්න ලැබුණ ගමන ගැන මට සතුටුයි. රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයෙන් පිටතදිත් තමන්ගේ නිළිකම පවත්වාගෙන යන්න දරන උත්සාහයටනම් ප්‍රේක්ෂකයන්ගේ වැඩි මනාපයක් නැහැ. රිතූ නම් කිව්වේ තමන්ගේ නිළිකම තිරයෙන් එළියට ගෙනියන්න සූදානම් නෑ කියලයි. මම සාමාන්‍යයෙන් සරලව ඉන්න කැමැති කෙනෙක්. නිළිකම මගේ වෘත්තිය. එතනින් එහා මම ගත කරන්නේ සාමන්‍ය තරුණියකගේ ජීවිතයක්. සමහරු හිතනවා මම ආඩම්බර චරිතයක් කියලා. නමුත් මම එහෙම ආඩම්බර චරිතයක් නෙමෙයි. අපි ඇයි කාටවත් ආඩම්බරකම් පෙන්වන්නේ. මම ප්‍රේක්ෂකයන්ට ගරු කරනවා. මාත් එක්ක කතා කරන ඕනම කෙනෙක් එක්ක මම කතා කරනවා. රිතූ පෙම්වතියක් කියලා කටකතා පැතිරුණාට රිතූනම් කියන්නේ ඇය පෙම්වතියක් නෙමෙයි කියලා. රිතූට විවාහයට හදිසියකුත් නැතිලු. අපේ වයසේ අය විවාහ වෙනවා කියලාවත් දැන් බඳින වයස හරි කියලාවත් විවාහය ගැන හිතන්න මම සූදානම් නැහැ. කසාදයක් එක සැරයයි කරගන්න ඕනේ. මගේ අම්මයි තාත්තයි වුණත් දික්කසාද වුණ අය. මට සිද්ධ වුණ දේ මගේ ළමයින්ට වෙන්න දෙන්න බෑ. මම ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න කැමැතියි. සල්ලිකාරයෙක් බඳින්න, යාළු වෙච්ච ගමන් විවාහ වෙන්න ඕනේ කියලා දෙයක් නෑ. මට දැනෙන, එකට ජීවත් වෙන්න පුළුවන් කියලා දැනෙන කෙනෙක් හම්බුණොත් මම විවාහ වෙනවා. ඒකට මට හදිසියක් නෑ. විවාහයෙන් පස්සෙ රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙක්ට රංගනයෙන් සමුගන්න සිද්ධ වෙනවා. නිළියන්ව විවාහ කරගන්න තරුණයෝ මැළිවෙනවා කියලත් කතා පැතිරෙනවා. නිළියන්ට ඇඟිල්ල දිගු කරන , නිළියන්ව විවාහ කරගන්න අකැමැති අයට රිතූ හොඳ උත්තරයක් දෙන්නත් මැළි වුණේ නැහැ. නිළියෝ විතරද නරක. නිළියෝ විතරද දික්කසාද වෙන්නේ. අපේ ක්ෂේත්‍රය ගැන බොහෝ අය අවධානයෙන් ඉන්නෙ. ඒ නිසා අපේ ක්ෂේත්‍රයේ දේවල් වැඩිපුර පෙනෙනවා.අනෙක් ක්ෂේත්‍රවලත් දික්කසාද වෙන අය ඉන්නවා . නිළියන්ව විවාහ කරගන්න අකමැති අය ඒ අයව විවාහ කරගන්නේ නැතුව ඉන්න ඕනේ. මාත් එක්ක සම්බන්ධතා තිබ්බ අය මට රඟපාන්න එපා කියපු අවස්ථා තියෙනවා. රංගන ශිල්පිනියක් කියලා දැනගෙන යාළු වෙලා රංගනයෙන් අයින් වෙන්න කියන එකේ අසාධාරණයක් තියෙනවා. ජීවත් වෙද්දි කතාබහ කරලා තීරණ ගත්තට කමක් නෑ. නමුත් සාධාරණ තීන්දු තීරණ ගන්නවානම් හොඳයි. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..