brand logo

සම්බන්දන් කියන්නේ හිට්ලර් වගේ භයානක මිනිහෙක්

01 July 2019

දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන ශිවශක්ති ආන්නදන් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නියෝජනය කරන්නෙකි. දෙමළ සංවිධානයේ නායක සම්බන්ධන් ඒකාධිපතියකු ලෙස දකින ඔහු දැන් එම සංවිධානයෙන්ද ඉවත්වී සිටියි. එලෙස දෙමළ සන්ධානයෙන් ඉවත් වූ ශවශක්ති තම මතවාදය මෙසේ ගෙනහැර දක්වයි. අලුත් දේශපාලන ගමනකට සූදානම් වෙලා නේද ඉන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී කාටද සහාය ලබා දෙන්නේ? මෙතෙක් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වුණ හැම අපේක්ෂකයකුම රටට දුන්න පොරොන්දු වගේම, දෙමළ ජනතාවට දුන්න පොරොන්දු ඉටු කළේ නැහැ. සිංහල නායකයන් පිළිබඳ විශ්වාසයක් නැතිනම් ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවද? එහෙම කරනවාද නැතිනම් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයකුට සහාය දෙනවද කියලා තීරණය වෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ තොරතුරු එළියට ආවට පස්සේ. දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබුණේ නැත්නම් ඔබ මේ වන විට සහාය දක්වන වත්මන් ආණ්ඩුවෙන් ඊට  විසඳුම් ලබා ගන්නට පුළුවන් නේද? ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකට හිටිය කාලේ ඒ දෙන්නම දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබා දුන්නේ නෑ. දැන් දෙන්නා දෙපැත්තක ඉන්නේ. ඒ නිසා මැතිවරණ වාසිය බලාගෙන කටයුතු කරනවා විනා මොන විදියකින්වත් මේ ගැටලුවට ඒ අයගෙන් විසඳුමක් ලැබෙන්නේ නෑ කියන එක ස්ථිරවම කියන්න පුළුවනි. විසඳුමක් ලැබෙනවා යැයි කියනවා නම් ඒක බොරුවක්. දෙමළ ජාතික සන්ධානයෙන් ඔබේ පක්ෂය දැන් ඉවත්වෙලා ඉන්නේ. ඒත් දෙමළ ජාතික සන්ධානය කියනවානේ දෙමළ ජනතාවගේ ගැටලුවට මේ රජයෙන් විසඳුමක් ලබා ගන්නවා කියලා. මුලින්ම දෙමළ ජාතික සන්ධානය ආරම්භ කළේ හා එහි අරමුණ මොනවද කියලා හැඳින්වීමක් කරන්න මම කැමැතියි. දෙමළ ජාතික සන්ධානය ආරම්භ කළේ දෙමළ පක්ෂ සියල්ල එකතුවෙලා. දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර පළාත්වල තම ස්වයං නීර්ණ අයිතිය ඇතිව ඉඩම් හා පොලිස් බලතලවලින් සමන්විත පාලන තන්ත්‍රයක් ඇති කරනවා කියන එකයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වුණේ. ඒ දේ කියමිනුයි අපේ දෙමළ ජනතාව අතරට ගිහින් ඡන්දය ඉල්ලුවේ, හැම මැතිවරණයකදීම. ඒත් ඉලංගෙයි තමිල් අරසු කච්චි මේ දේවල් අමතක කරලා වැඩ කළා. දෙමළ ජාතික සන්ධානය කියන්නේ පක්ෂ ගණනාවක් එකතුවෙලා හදපු සන්ධානයක්. ඒකට ප්‍රතිපත්ති මාලාවක් වගේම ඡන්ද ලකුණක් තියෙන්න ඕනෑ. ඒ වගේම සන්ධානය ලියාපදිංචි කරන්න ඕනෑ ඒ එක දෙයක්වත් නොකර තමිල් අරසු කච්චි කළේ ඔවුන්ගේ ඡන්ද ලකුණ වුණ ගෙයින් ඡන්දය ඉල්ලන්න අනෙක් පක්ෂ යොමුකරපු එකයි. ඊට පස්සේ මන්ත්‍රීවරුන් පත් වුණහම ලැබෙන බෝනස් මන්ත්‍රී ධුරය තමිල් අරසු කච්චියට ලබා ගත්තා. මේ නිසා සන්ධානයට සම්බන්ධ පක්ෂ හා තමිල්අරසු කච්චි නායකයන් අතර මත ගැටුම් ඇති වුණා. විශේෂයෙන්ම ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමග පක්ෂ නායකයන් තර්ක විතර්ක කළා. සම්බන්ධන් කියන්නේ එ්කාධිපතියෙක්. හිට්ලර්, මුසෝලිනි වගේ හරි භයානක පුද්ගලයෙක්. එයා දේශපාලන නායකයෙක්, පරිණත දේශපාලනඥයෙක් වගේම ශාන්තුවරයෙක් විදියට සමාජයට පෙන්වන ආකාරයේ පුද්ගලයකු විදියට නෙමෙයි දරදඬු ඒකාධිපතියෙක් විදියටයි සන්ධානය තුළ කටයුතු කරන්නේ. පක්ෂ නායකයන්ට ගරු කරන්නේවත්, පක්ෂවල හා සන්ධානයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේවත් නැහැ. මේ වගේ හිට්ලර් කෙනෙක් එක්ක ඉන්න බැහැ කියලා ඊපීආර්එල්එෆ් අපි විතරක් නෙවෙයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් හිටපු පළාත් ඇමැතිනී ආනන්දි ශෂිදරන් සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය වගේ පක්ෂ හා ප්‍රබලයන් දෙමළ සන්ධානයෙන් ඉවත් වුණා. විග්නේෂ්වරන් කියන්නේ ඉගෙන ගත්ත, නීතිය යුක්තිය දන්න විනිසුරුවරයෙක්. සම්බන්ධනුයි, සුමන්දිරනුයි හැදුවේ එයාව පඹයෙක් වාගේ නටවන්න. ඒ වගේම වැරදි ක්‍රියාමාර්ගවලට යොමු කරන්න. ඒක තේරුම් ගත්ත නිසයි විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙලා වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළේ. ඔබේ පක්ෂය දෙමළ සන්ධානයට එරෙහි අනෙකුත් පක්ෂ සමග එක්ව දෙමළ සන්ධානයට එරෙහිව පුළුල් පෙරමුණක් හදන්න යනවා කියන්නේ ඇත්තක්ද? අපි (ඊපීආර්එල්එෆ්) මේ වන කොටත් විග්නේෂ්වරන්ගේ දෙමළ මහජන කොංග්‍රසය සමග එක්වෙලා ඉදිරි ගමනකට මුල පුරලයි ඉන්නේ. ඓන්ගරන් වගේම ආනන්දි ශෂිදරන්ගේ පක්ෂයත් අපට එක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් පැවැත් වූ සාකච්ඡා සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි, දෙමළ ජාතික සන්ධානයේ දැනට ඉතිරිවෙලා ඉන්න ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ දෙකත් සන්ධානයෙන් ඉවත් වෙන මට්ටමේ තමයි ඉන්නේ. එහෙම වුණොත් ඒ අයත් අපේ පෙරමුණට නැත්නම් පුළුල් සන්ධානයට එක් වේවි. ඒ වගේ පෙරමුණක් හෝ සන්ධානයක් ආවොත් පළාත් සභා ඡන්දයේදී හොඳ තරගයක් තිබේවි නේද? ඇත්තටම හොඳ තරගයක් තියෙනවා. පසුගිය පළාත් පාලන ඡන්දයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර ජනතාවගෙන් සියයට 32 ක් තමා ඡන්දය භාවිත කරලා තිබුණේ. අනෙක් සියලු දෙනා දෙමළ ජාතික සන්ධානයට විරුද්ධවයි ඡන්දය දීලා තිබුණේ. ඉදිරි පළාත් සභා ඡන්දයේදී මීටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් තමා ඒ අයට ලැබෙන්නේ. උදාහරණයකට ගත්තොත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට සහාය පළ කළොත් ඔවුන්ට විරුද්ධ දෙමළ ජනතාව එම අපේක්ෂකයාට එරෙහිවයි ඡන්දය භාවිත කරන්නේ. ඒ වගේ තත්ත්වයකයි මේ වන විට දෙමළ ජනතාව පසුවන්නේ. උතුරු නැගෙනහිර ප්‍රමුඛ දෙමළ ජනතාවගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? මේ වගකීම සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ දෙමළ සන්ධානය අතේ. මන්ත්‍රී ධුර 16 ක් තියෙනවා. රජයට මේ අය පූර්ණ සහාය ලබා දීලා තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් රජයට මේ සම්බන්ධයෙන් ප්‍රබල ලෙස බලපෑම් කරන්නට. මොකද මේ අය මේ රජය පිහිටුවන්න වගේම අයවැය සම්මත කරගන්නත් උදව් කළා. එහෙම කරපු සම්බන්ධන් ඇතුළු පිරිස දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දෙන්න කියලා රජයට බලපැම් කළේ නෑ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළෙත් නැහැ. එයාලා කළේ රජය සමග කතාබහ කරලා තමන්ගේ පහසුකම් ටික සලසා ගත්ත එකයි. කොළඹින් ගෙවල් ගන්න, හොඳ හොඳ වාහන ගන්න, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිකම් ගන්න, ගම්පෙරළිය යටතේ මිලියන 400 ගානේ අරගෙන ඉදිරි ඡන්දය දිනන්න මග සකස් කර ගැනීම වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි මේ අය ගම්පෙරළිය වැඩසටහනේ අධීක්ෂණය සඳහා වැටුපට අමතරව රුපියල් ලක්ෂ දෙක ගානේ ලබා ගන්නත් කටයුතු කළා.  මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ සම්බන්ධන් සමග ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. මේ අය ජනතාව අමතක කරලයි කටයුතු කරන්නේ. ඔබ නියෝජනය කරන වව්නියාව දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකගේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක පවතින බව ඔබ පවසා තිබුණා. ඊට බලපා ඇති හේතු මොනවද? විශාල පිරිසක් සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සමත්වෙලා ඉන්නවා. ඒ වගේම උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. මේ අයට රජයේ රැකියා හෝ පෞද්ගලික අංශයේ මොනම රැකියාවක්වත් ලැබිලා නැහැ. ගොවිතැන් කටයුතු කරගෙන යන්න අවශ්‍ය පහසුකනුත් නැහැ. විශේෂයෙන්ම මේ රජය වගේම පසුගිය රජයනුත් බරපතළ වරදක් කරලා තියෙනවා, මෙහේ තියෙන පුරප්පාඩුවලට දකුණේ තරුණ තරුණියන් පත් කිරීම. උදාහරණයක් විදියට කිව්වොත් විදුලිබල මණ්ඩලයේ මෙහේ තියෙන කම්කරු පුරප්පාඩුවටත් එන්නේ දකුණේ සිංහල කෙනෙක්. මේ නිසා මෙහේ තරුණ තරුණියන් ඉන්නේ දැඩි අසහනයකින්. මේ තත්ත්වය රජය තේරුම් නොගතහොත් බරපතළ තත්ත්වයකට අනාගතයේ මුහුණ දෙන්න වේවි කියන අවදානමක් පවතිනවා. ලසුනික ජයසුන්දර
 

More News..