brand logo

සම්පායෝ සංචිතයට නොදැමීම ගැන ජනපති නිදහසට කරුණු අසයි

03 June 2020

සාක්ෂි සහිතවම දූෂණ චෝදනා එල්ල වූ මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා සංචිතයට යවනු වෙනුවට කළුතර බන්ධනාගාරයට මරු කළේ කෙසේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් නිදහසට කරුණු විමසා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (01දා) අධිකරණ අමාත්‍යාංශ ප්‍රධානීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධව කරුණු විමසා ඇත. පාතාල නායකයන් මීගමුව බන්ධනාගාරය තුළදී ශීතකරණ, මයික්‍රෝවේව් අවන් ඇතුළු සියලු පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරිවරයා කළුතරට මාරු කර යැවීම අධිකරණ ඇමැති හා අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් මත සිදුවූ බවද මෙහිදී අනාවරණය විය. අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහමඩ් මහත්මිය ඇතුළු අධිකරණ අමාත්‍යාංශ ප්‍රධානීන්, බන්ධනාගාර ප්‍රධානීන්, ආරක්ෂක ලේකම්, පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද මෙම සාකච්ඡාවට එක්වූහ. බන්ධනාගාර තුළ සිදුවන අපරාධ වළක්වා ගැනීමට නොහැකිනම් තම නියෝග ක්‍රියාත්මක නොවේ නම් තමන්ට බන්ධනාගාර කටයුතු සඳහා මැදිහත්වීමට සිදුවන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..