brand logo

සම්පත් බැංකුව අත්‍යවශ්‍යම මොහොතේ ගනුදෙනුකරුවන් වෙත සහන රැසක් හිමි කරදෙයි

20 April 2020

ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි.. සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්ත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුළු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව විසින් ලබා දී ඇත. තවද ව්‍යාපාරයන් නැවත නගා සිටුවීම වෙනුවෙන් ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 4% පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් සලසා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත. අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09.30 දක්වා ගාස්තු අය නොකිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ඇති අතර රුපියල් 500,000කට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා වන වලංගු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන ඇත. එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තවදුරටත් සහනයක් වෙමින් සම්පත් ලීසිං පහසුකම් යටතේ ලබා ගත් ත්‍රිරෝද රථ, පාසල් සේවා වෑන් රථ, ලොරි රථ, කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන වාහන සහ බස් රථ සඳහා මාස 6ක සහන කාලයක් ලබා දීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත. ඊට අමතරව ස්වයං රැකියාවන්හි නියුතු වූවන් විසින් ලීසිං පදනම යටතේ මිලදී ගෙන ඇති යතුරු පැදි හා කුලී රථ (ටැක්සි) සඳහා ද මාස 6ක සහන කාලයක් මේ යටතේ හිමිවේ. සම්පත් ලීසිං හරහා ලබාගත් පෞද්ගලික ලීසිං පහසුකම්වල ලක්ෂ 10කට අඩු වාරික ගෙවීම් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත. රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් සම්පත් බැංකුව මගින් ලබා දී තිබෙන රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය සඳහා මාස 3ක සහන කාලයක් හිමි කරදීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය ලබා ගෙන ඇති සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට තම ණය වාරික ගෙවීම වෙනුවෙන් මාස 3ක සහන කාලයක් හිමිවනු ඇත. මේ මොහොතේ සම්පත් කාඩ්පත් හිමියන්ට ද ඉමහත් සහනයක් හිමිකර දී ඇති සම්පත් බැංකුව රුපියල් 50,000ක වටිනාකමින් යුත් සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 15%ක උපරිම පොලී අනුපාතයක් ලබා දෙමින් අවම මාසික ගෙවීම 50%කින් අඩු කිරීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එම සහනය 2020 අප්‍රේල් මස අවසන් වන තුරු ක්‍රියාත්මක වේ. එසේම 2020.09.30 දක්වා ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම් වෙනුවෙන් කිසිදු ප්‍රමාද ගාස්තුවක් අය නොකිරීමටද සම්පත් බැංකුව තීරණය කොට ඇත.
 

More News..