brand logo

සම්පත් බැංකුව අත්‍යවශ්‍යම මොහොතේ ගනුදෙනුකරුවන් වෙත සහන රැසක් හිමි කර දෙයි

16 April 2020

ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි. Covid - 19 හෙවත් කොරෝනා උවදුර හේතුවෙන් උද්ගතව පවතින අර්බුධකාරී තත්ත්වය තුළ සිය නව්‍යකරණ බැංකු සේවාවන් තුළින් ගනුදෙනුකරුවන් වෙත දැවැන්ත සහන රැසක් හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත්තේ එය යළිත් වරක් සනාථ කරමිනි. විශේෂයෙන් පවතින තත්ත්වය තුළ ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතනයන් වෙත සිදු කරන ලද දැනුම්දීමට අනුව යමින් සිය ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙවන් සහන රැසක් හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත්තේ බැංකුවක් ලෙස සිය යුතුකම් හා වගකීම් මනාව ඉටු කරමිනි. සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්ත්වය තුළ සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුළු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව විසින් ලබා දී ඇත්තේ එම ව්‍යවසායකයන්ට ඉමහත් අස්වැසිල්ලක් වෙමිනි. තවද ව්‍යාපාරයන් නැවත නගා සිටුවීම වෙනුවෙන් ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 4% පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් සළසා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත. අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09.30 දක්වා ගාස්තු අය නොකිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ඇති අතර රුපියල් 500,000කට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා වන වලංගු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන ඇත. එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තව දුරටත් සහනයක් වෙමින් සම්පත් ලීසිං පහසුකම් යටතේ ලබා ගත් ත්‍රිරෝද රථ, පාසල් සේවා වෑන් රථ, ලොරි රථ, කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන වාහන සහ බස් රථ සඳහා මාස 6ක සහන කාලයක් ලබා දීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත. ඊට අමතරව ස්වයං රැකියාවන්හි නියුතුවූවන් විසින් ලීසිං පදනම යටතේ මිලදී ගෙන ඇති යතුරු පැදි හා කුලී රථ (ටැක්සි) සඳහා ද මාස 6ක සහන කාලයක් මේ යටතේ හිමිවේ. සම්පත් ලීසිං හරහා ලබාගත් පෞද්ගලික ලීසිං පහසුකම්වල ලක්ෂ 10කට අඩු වාරික ගෙවීම් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත. රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් සම්පත් බැංකුව මගින් ලබා දී තිබෙන රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය සඳහා මාස 3ක සහන කාලයක් හිමි කර දීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය ලබා ගෙන ඇති සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට තම ණය වාරික ගෙවීම වෙනුවෙන් මාස 3ක සහන කාලයක් හිමිවනු ඇත. මේ මොහොතේ සම්පත් කාඩ්පත් හිමියන්ට ද ඉමහත් සහනයක් හිමිකර දී ඇති සම්පත් බැංකුව රුපියල් 50,000ක වටිනාකමින් යුත් සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 15%ක උපරිම පොලී අනුපාතයක් ලබා දෙමින් අවම මාසික ගෙවීම 50%කින් අඩු කිරීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එම සහනය 2020. අප්‍රේල් මස අවසන් වන තුරු ක්‍රියාත්මක වේ. එසේම 2020.09.30 දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් වෙනුවෙන් කිසිදු ප්‍රමාද ගාස්තුවක් අය නොකිරීමටද සම්පත් බැංකුව තීරණය කොට ඇත. මීට අමතරව මේ මොහොතේ දුෂ්කරතාවයට පත්ව සිටින සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (Mobile ATM) පහසුකම්ද සලසා දීමට පියවර ගෙන ඇත. බැංකුවට හෝ නගරයේ ස්යංක්‍රීය ටෙලර් යන්ත්‍රය වෙත නොගොස් තමන්ගේ නිවස අසලට පැමිණෙන ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තුළින් මුදල් ලබා ගැනීමට මෙන්ම මුදල් තැන්පත් කිරීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ. දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන තුළින් සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන්ටද එම සේවාවන් අත් විඳිය හැකිය. නව්‍යකරණ බැංකුකරණයේ පුරෝගාමියකු ලෙස සම්පත් බැකුව මේ ආකාරයේ බැංකු සේවාවන් තුළින් සිය ගනුදෙනුකරුවන් වෙත තව තවත් සමීප වෙමින් ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කිරීම හේතුවෙන් සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන්ටද ඉමහත් සහනයක් සැලසෙනු නොඅනුමානය.
 

More News..