brand logo

සමහර වේලාවට මටම මාව පාලනය කර ගන්න අමාරුයි

19 October 2021

අම්මට හරි යන කෙනෙක් හමුවුණොත් විවාහ වෙන්න වෙයි

සැබෑ ජීවිතයේ මම බොහාම නිහඬ චරිතයක්

හැමදෙනාම ජානුගේ චරිතය ගැන කතා බහ වෙනවා

කටේ සද්දේ වැඩියි කියලා ගෙදර අය ටීවී එක අඩු කරනවා

කුකුළා මුදලාලිගේ දුව කිව්වහම තමයි මධුෂානි පෙරේරාව බොහෝදෙනෙක් හඳුනන්නේ. ඇය කියන හැටියට නම් ඇයව දැන් කුකුළා ෆැමිලි එකට සින්න වෙලා වගේලු. මේ නිසාම ලැබෙන ප්‍රතිචාර ගැන දැන ගන්න අපි මධුෂානිට කතා කළා.

මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවලු නේද?

ගොඩාක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පාරට බැහැලා යන්නෙත් අමාරුවෙන්. වයස් භේදයක් නැතිව හැමදෙනා අතරෙම ජානුගේ චරිතය කතා බහ වෙනවා.

කවුරුත් බණින්නේ නැත්ද?

අපෝ බණිනවා. සමහරුන්ට කේන්ති යන්නේ මගේ කෑ ගැහැල්ලටලු.

යාළුවෝ ආදරේට කතා කරන්නේ කොහොමද?

සෙට් එකේදී නම් කුකුළු බබා කියනවා. කුකුළු කෑල්ල කියනවා. මුල් දවස්වල නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුණා. කේන්තියකුත් ආවා. දැන්නම් ගාණක් නැහැ. ඒ දේවල්වලට පුරුදු වෙලා.

පාරේ බැහැලා යනකොට ඔය නම කියන්නේ නැත්ද?

එහෙම මූණ බලාගෙන කියන්න හිතෙන්නේ නැතුව ඇති නේද? නැති තැන නම් කියනවා ඇති.

කොහොමද මේ චරිතයට අවස්ථාව ලැබුණේ.

රාවණා ටෙලිනාට්‍යයේ රඟපෑම නිසා තමයි මේ අවස්ථාව ලැබුණේ. රාවණා නාට්‍යයේ චරිතය රඟපානවා දැකලා තමයි නාඩගම්කාරයෝ එකේ ස්ක්‍රීන් ටේස්ට් එකට එන්න කිව්වේ. රූපගත කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ.

ජානුගේ චරිතයටමද තෝරගන්නේ.

මුලින්ම ලැබුණේ ගැමි චරිතයක්. ඊට පස්සේ කිව්වා තවත් චරිතයක් තියෙනවා කරලා බලමුද කියලා. මමත් මුලදි අදිමදි කරලා තමයි භාර ගත්තේ. දැන්නම් ප්‍රශ්නයක් නෑ. චරිතය ලැබුණා කියලා දැන්නම් හිතෙනවා.

සැබෑ ජීවිතයේත් ඔයා ජානු වගේද?

සැබෑ ජීවිතයේ මම ඉන්න විදිහ කෙනෙක් විශ්වාස කරන එකක්වත් නෑ. හිමීට කතා කරන්නේ. මගේ පාඩුවේ ඉන්නේ. යාළු මිත්‍රයෝත් අඩුයි. බොහාම නිහඬ නිස්කලංක චරිතයක්. ඊට හත්පසින්ම වෙනස් චරිතයක් තමයි රඟපාන්නේ.

ගම කොළඹමද?

ඉගෙන ගත්තේ කොට්ටාවේ ධර්මපාල මහා විද්‍යාලයේ. ගමත් කොට්ටා‍ෙවම තමයි.

නිළියක් වෙන්නමද හිතාගෙන උන්නේ.

ඉස්කෝලේ සමිතියක සිංදුවක් කියන්න තිබ්බත් මම මාරු වෙලා යනවා. ඒ තරමටම කලාව ගැන අකමැත්තක් තිබුණේ. මගේ සිහිනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. කිහිපවතාවක් උත්සාහ කලත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ කලාවටම තල්ලු වුණා.

මුල්ම නාට්‍ය රාවණා ද?

ඔව්. මගේ යාළුවෙක් මගේ ෆොටෝ එකක් රාවණා නාට්‍යයට දාලා තිබුණා. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියෙත් හරිම අකමැත්තෙන්. යාළුවා නිසා තමයි ගියේ. හැබැයි එතනදී මාව තෝරා ගත්තා. ගෙදරිනුත් අකමැත්තක් නොතිබුණ නිසා මේ ක්‍ෂේත්‍රය හොඳයි කියලා හිතුණා.

ඉදිරියට තියෙන නිර්මාණ.

රාවණා 3 වෙනි කොටස රඟපාන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකෙත් බාගයක් ඉවරයි. ඉතිරි රූපගත කිරීම් ආරම්භ වෙයි. මීට අමතරව නාඩගම්කාරයෝ රඟපානවා. වෙන කිසිම අලුත් දේකට අත ගහලා නෑ.

රඟපෑම වෘත්තිය වෙයිද?

අවුරුදු දෙකක් වෙනවා රඟපාන්න පටන් අරගෙන. නිදහසේ වැඩේ කරගෙන යනවා. ලොකු කලබලයක් නැහැ. මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමැත්තක් තියෙනවා.

කුකුළා ෆැමිලි එක ගැන මොකද හිතෙන්නේ?

මිනිස්සු අතරේ මම ඉන්නේ කුකුළා ෆැමිලි එක නිසානේ. ඇත්තටම මට රඟපාන්න තියෙන්නෙත් ඒ ගෙදර අයත් එකකයි. මේ දවස්වල මගේ ජීවිතෙත් කුකුළා ෆැමිලි එකත් සමඟ බද්ධ වෙලා.

රූපවාහිණියෙන් නාට්‍යය බලනකොට මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ කෑ ගැහිල්ල ගැන මටම කේන්තියක් එනවා. සමහර වෙලාවට ජානු කෑ ගහනකොට අම්මා කියනවා ඔය ටීවී එකේ සද්දේ අඩු කරන්න කියලා. ඒ තරමටම කෑ ගැහිල්ල ඇහෙනවා. ජානුගේ කෑ ගැහිල්ල අපේ අම්මටත් ප්‍රශ්නයක් වෙලා.

ඔබ වගේ නිහඬ කෙනෙක් මෙහෙම කෑ ගහන චරිතයක් කරන එක අභියෝගයක් නෙමේද?

මුල් කාලේ නම් මටත් අමාරු වුණා. හරියට සද්දේ ආවෙත් නැහැ. දැන්නම් වැඩේ හොඳට යනවා. දවස් දෙකක් තුනක් යනකම් ඒ සද්දේ මටත් අඩු කර ගන්න බැරිවුණා.

හිනා නොවී රඟපාන්නේ කොහොමද?

ඒක තමයි අමාරුම වැඩේ. සමහර වේලාවට මටම මාව පාලනය කර ගන්න අමාරුයි. හොඳටම හිනා යනවා. පුහුණුවීම් කරලා කොහොමහරි මූඩ් එක හදා ගන්නවා.

දැන්මම විවාහ වෙන්නේ නැද්ද?

මේ දවස්වල ගෙදරින් හොයනවා. අම්මට හරි යන කෙනෙක් හමුවුණොත් විවාහ වෙන්න වෙයි.

ඇයි අම්මට විතරක්. ඔයාට හරි යන්න ඕනි නැද්ද?

තවම එහෙම කෙනෙක් මුණ ගැහිලා නැහැ. මටත් ඒ ගැන එහෙම ලොකු ගාණක් නැහැ. සමහරුන්ගේ හිතේ එක එක විදිහේ අය ඉන්නවනේ. මගේ එහෙම කෙනෙකුත් නැහැ. වේලාව ආපුවහම හැමදේම හරි යයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..