brand logo

සමගි ජන බලවේගය හදවත අතහැර හංසයා තෝරගනියි

19 February 2020

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගය සන්ධානය යටතේ හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අද (19 වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. එසේම සන්ධාන නායකත්වය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලබාදීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවැසීය. පසුගිය එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධ පිහිටුවනු ලබන සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අවසානයේ මැතිවරණ නීතියට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාවන්ට අනුව තරග කරන සන්ධානය භාවිත කළා හැකි නම සහ සලකුණ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එජාප නීති අංශයේ උපදෙස් විමසීමට තීරණය කෙරිණි. ඒ අනුව එජාප නීති අංශය විසින් ‘සමගි ජාතික බලවේගය’ අදාළ සන්ධානයේ නිල නාමය ලෙස භාවිත කළ හැකි බව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත. එසේම එම සන්ධානයේ සලකුණ ලෙස හංසයා ලකුණ භාවිත කළ හැකි බවද එජාප නීති අංශය විසින් දැනුම්දී ඇත. සන්ධාන නාමය සහ සලකුණට මේ වන විට එජාපයේ සියලු පාර්ශ්ව එකඟතාව පළකර ඇතැයිද වාර්තා සඳහන් කරයි.   නයන තරංග ගමගේ
 

More News..