brand logo

සභාපති පුටුවේ ඉන්නකම් මගේ නිර්මාණ ITN එකේ පෙන්නන්නේ නැහැ

04 February 2020

ස්වාධීන රූපවාහිනිය වෙනස් වෙලා. මේ දවස්වල බොහෝ දෙනෙක් කතා වෙනවා... ස්වාධීන රූපවාහිනිය වෙනස් වෙලාද වෙනස් කළාද? නව සභාපති සුදත් රෝහණ මහතාගේ පැමිණීමත් සමග තමයි මේ හැම කතාවක්ම..... අපි ඒ ගැන ඔහුගෙන් ඇහුවා.... සුදත් රෝහණ කියන නිර්මාණකරුවාගේ භූමිකාව සභාපතිවරයා වීමත් සමග නතර වෙයිද? සුදත් රෝහණ කියන නිර්මාණකරුවාගේ නිර්මාණ භාවිතය නතර වෙලා සෑහෙන කාලයක්. අවුරුදු හයකින් මම නිර්මාණයක් කරලා නැහැ. අන්තිමට කළේ ගිරිකුල... දැන් නිර්මාණවලින් දැක්වූයේ.... කාටද නිර්මාණ කරන්නේ පහුගිය කාලේ හොඳ නිර්මාණ ආවද?.... අනික නිර්මාණයක් කරන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුණේ නැහැ....ඒක නිසා නිර්මාණවලින් ඈත්වෙලා උන්නේ.... ප්‍රථම වතාවට නේද සභාපති තනතුරක් දරන්නේ.... අභියෝගයක් නොවේද? මම නිර්මාණකරුවෙක්.... මෙහෙම පුටුවක ඉඳන් මම වැඩ බලලා නැහැ.... හැබැයි මෙතන ඉන්නෙත් කලාකාරයෝ... මට වැඩ කරන්න තියෙන්නේ කලාකරුවෝ සමග...ඒක මට නුපුරුදු දෙයක් නොවේ... මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකයාට ස්වාධීන රූපවාහිනිය මගින් හොඳ නිර්මාණ ටිකක් කරන්න ශක්තිය හා හැකියාව මට තියෙනවා කියලා. අයි.ටී.එන්. මිනිස්සු බලන්නේ නැහැ නේද? රජයේ මඩ නාළිකාව කියලා හංවඩු ගහපු තැනක් හදන්නේ කොහොමද? අභියෝගයක් තියෙනවා....1979 පස්සේ ITN එකේ ස්වර්ණමය යුගයකුත් තිබුණා කියලා අමතක කරන්න එපා. මොකද ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයකට පේන්නේ ITN එක...... මම හිතන්නේ ITN එකට නරකම කාලේ උදාවෙලා තිබුණේ පහුගිය අවුරුදු පහේ..... මේක ඇතුළට ආපුවාම මටත් දැනුණා කොච්චර විනාශ වෙලාද කියන කාරණාව. කොතනින් හෝ මේ විනාශය නතර කළ යුතු නිසයි මම අභියෝගක් වුණත් මේ කාර්ය භාරගත්තේ. රජයේ මැදිහත් වීම නිසා නේද ITN කඩා වැටෙන්නේ.... ​ඔබ කොහොමද මේක වෙනස් කරන්නේ.. මම මේක භාරගන්නේ ඒ නිදහස මට දුන්න නිසා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට කිව්වේ මේ අයි.ටී.එන්. එකට දේශපාලනය මැදිහත් වීම නතර කළ යුතුයි කියලා. මෙච්චර කල් හැමෝම කරපු දේ නතර කළ යුතුයි කියන තැනට එක්කෙනෙක් හරි ආවා කියන්නේ ඒක යහපත් නේද?.... මම හිතනවා මට ඒ දේ කරන්න පුළුවන් කියලා. පසුගිය අවුරුදු පහේ මේක විනාශ කරලා.... සේවකයන්ගේ කඳුළු මතින් පාලකයෝ මුදල් උපයලා. හොඳ නිර්මාණ යට ගහලා. මුදල්වලට නිර්මාණ කොල්ලකාලා. ITN එකට ගෙනත් ප්‍රතික්ෂේප කරන නිර්මාණ අනික් නාළිකාවල පෙන්නලා හොඳම සම්මානය අරගන්නවා. හිතාගන්න කොච්චර විනාශ වෙලාද කියලා... මොනවද අරගෙන එන අලුත් නිර්මාණ... දැනට සෙනසුරාද හා ඉරිදා අටේ ඉඳන් නවය වෙනකම් අලුත් ටෙලි නාට්‍ය දෙකක් හඳුන්වලා දෙනවා. සයිමන් නවගත්තේගම සූරීන් ලියූ නවකතාවක් ඇසුරෙන් සංජය නිර්මාණ අධ්‍යක්ෂණය කරන සංසාර ආරණ්‍ය අසබඬ ටෙලිනාට්‍ය සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 9.00ට විකාශය කරනවා. ඒ වගේම නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් කරළියට ගේනවා ඔහු රොෂාන් රවීන්ද්‍රන්...ඔහුගේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය සෙනසුරාදා සහ ඉරිදා 8ට විකාශය කරනවා. මේ නාට්‍ය දෙකම ඉතා ඉහළ ප්‍රමිතියේ නාට්‍ය නිසා ඉතා ඉක්මනින් රසිකයන් වැලඳගනී. ඔබත් දක්ෂ නිර්මාණකරුවෙක්. ඔබට පුළුවන්නෙ ඔබේ ඉහළ නිර්මාණ ස්වාධීන රූපවාහිනියෙ පෙන්වන්න. ඒක සදාචාරාත්මක නැහැ නේද? මගේ නිර්මාණ ස්වාධීන රූපවානියේ පෙන්නල තියෙනවා. නමුත් මම සභාපති වෙලා ඉන්නකම් මගේ නිර්මාණයක් අයි.ටී.එන්. එකේ පෙන්නන්නෙ නෑ. මම මේ තනතුර භාරගත්තේ ඒ අධිෂ්ඨානය හිතේ තියාගෙන. ඔබ වැනි නිර්මාණකරුවෙක්ට ඔබම කරගත් අසාධාරණයක් නේද? සුදත් රෝහණ කියන නිර්මාණකරුවාව මරා දමන්නද හදන්නේ. මට තාවකාලිකව ඒක කරන්න වෙනවා. මොකද ජනාධිපතිතුමා මට ලොකු වගකීමක් භාර දුන්නේ. රූපවාහිනියේ මහගෙදර ප්‍රමිතියකට ගේන්න. දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙනවා. ඉතින් මගේ නිර්මාණ දිවිය ටික දවසකට නතර කරන්න මට සිද්ධ වෙනවා. අකැමැත්තෙන් වුණත් මම ඒක කරනවා. අලුත් නිර්මාණයකට අතගහල නේද උන්නේ? ඔව්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්‍ය වත කියන කෘතිය අරගෙන මම පිටපතක් ලියනවා. ​මේක අවුරුදු සීයක් පුරා දිව යන කතාවක්. දර්ශන තල විශාල ප්‍රමාණයක් භාවිත කරනවා. මේ මාර්තු තමා වැඩ ආරම්භ කරන්න උන්නේ. නමුත් මට මගේ අලුත් තනතුර නිසා වැඩේ කල්දාන්න වෙනවා. ඔබ ස්වාධීන රූපවාහිනිය ජීවිතය කරගන්නද යන්නේ.? මේක ගොඩගන්නකම් එහෙම කරන්න වෙනවා. මම මේක ඉල්ලල ගත්තෙ නෑ. මම ගැන විශ්වාස කරලා දුන්නේ. මම ඒක රකින්න ඕනි. කොටින්ම මගේ බිරිඳ, දරුවන්ගෙ කටයුතු පවා මට මඟ හැරෙනවා. ​ ඒ අය මම වෙනුවෙන් මේ දේවල් ඉවසයි. රුපියල් ලක්ෂයේ පඩියකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? උත්සාහ කරනවා. කොහොමත් මම මුදල් මත්තෙ නැහුණ නිර්මාණ කරුවෙක් නෙවෙයි. හැමදාම කැපවුණේ නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන්. පෞද්ගලිකව පසුගිය කාලේ ඔබ නරඹපු හොඳ නිර්මාණ මොනවද? කූඹියෝ, තාත්තා වැනි නිර්මාණ විශිෂ්ටයි. මේ දේවල් ආසාවෙන් බැලුවා. විදෙස් නාට්‍ය වාරණය කරනවාද? නැහැ. ඒ නාට්‍ය මිනිස්සුන්ට එපා කරවනවා. ඉන්දියන්, කොරියන්, හින්දි නාට්‍ය ඇතුළෙ මොනවද තියෙන්නේ. වෛරය, ක්‍රෝධය හා අනියම් ප්‍රේමය විතරයි. මුළු පවුලටම එකට ඉඳන් බලන්න පුළුවන්ද?. ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන්ව හොඳ නිර්මාණ පැත්තට ඇදලා ගන්නවා. ඔබ නිර්මාණකරුවෙක්. හිතවත් අයට නිර්මාණ දාලා දෙන්න කියලා කියන්නෙ නෑද්ද? ඒක තමා හොඳම ප්‍රශ්නය. නමුත් යාළුකම්වලට නිර්මාණ සම්බන්ධ කරගන්නේ නැහැ. මේ පුටුවේ මම ඉන්න තාක්කල් කාගෙවත් හිත් හදන්න යන්නෙ නෑ. කාගෙවත් හිත් රිදුණට මට කරන්න දෙයක් නැහැ. මම ආවේ වෙනසක් කරන්න. ඒ වෙනස අමාරුවෙන් හරි කරලා දුන්නොත් ඊළඟට එන කෙනා හරියට කරගෙන යයි. ගෙවීම් සම්බන්ධව ස්වාධීන රූපවාහිනියේ ප්‍රශ්න තියෙනවා නේද? තිබුණා. මම ආපු දවසේ ඉඳන් නැහැ. මම දන්නවා නිර්මාණ සඳහා කොච්චර මුදලක් යනවද කියලා. කොච්චර දවසක් මහන්සි වෙනවාද කියලා. අනිවාර්යෙන්ම නිර්මාණකරුවන්ට සියයට සියයක සාධාරණයක් ඉෂ්ට කරනවා. ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර ඡායාරූපය - ලලිත් පෙරේරා
 

More News..