brand logo

සඳ මත ගොඩ බට යානය මෙහෙයවූ චීන ළඳ

12 December 2020

විවිධ ක්ෂේත්‍රවලදී කාන්තාවන් පිරිමින් අභිභවා ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබේ. එසේ වුවද වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව විද්‍යා ක්ෂේත්‍රයේ කාන්තා සහභාගිත්වය තිබුණේ අඩුවෙනි. ඒත් දැන් දැන් කාන්තාවන් විද්‍යා ක්ෂේත්‍රයද ආක්‍රමණය කරන ආකාරයක් දක්නට තිබේ. පසුගියදා සඳ වෙත ගොඩබස්වන ලද චැන්ගී-5 මෙහෙයුම පිටුපසද කාන්තාවක් සිටින්නීය. මේ වනවිට ඇගේ ඡායාරූප හා විස්තරවලින් සමාජ ජාල අඩවි පිරී ගොස් තිබේ. ඇය නමින් ෂෝ චෙන්ග්යුය. ෂෝ චෙන්ග්යු තවමත් විසිහතර හැවිරිදි යුවතියකි. ඇය වෙන්ග් චෑන්ග් අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් නිලධාරිනියකි. එම ආයතනයේ සිටින ළාබාලම නිලධාරිනිය ඇය වුණත් චැන්ගී-5 ක්‍රියාන්විතය හරහා ෂෝ ලබා ඇති ගෞරවයත්, ජනප්‍රියත්වයත් ඉතා ඉහළය. සඳ පිළිබඳව වසර හතකට පසු චීනය විසින් දියත් කරන ලද තුන්වැනි සාර්ථක​ මෙහෙයුම වන්නේ චැන්ගී-5 සඳ ගමනයයි. මෙහෙයුම් මධ්‍යස්ථානයේ රොකට් සම්බන්ධතා පද්ධතියේ ප්‍රධානියා ෂෝයූ ය. එය ව්‍යාපෘතියේ වැදගත් කාර්ය භාරයක් උසුලන භූමිකාවක් වේ. චැන්ගී-5 යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ නොවැම්බර් 23 වැනිදාය. ඉන් අනතුරුව චීන මාධ්‍ය ඔස්සේ ෂෝයූ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කෙරිණි. මේ වනවිට ඇය එරට ජනතාවගේ වීරවරියක බවට පත්ව සිටින්නීය. වයසින් ළාබාල වුවත් බොහෝ අය ආදරයට ඇයව හඳුන්වන්නේ ‘ලොකු අක්කා’ නමිනි. ෂෝයුට ඉහළ ජනප්‍රියත්වයක් ලබාදුන් එහි සමාජ ජාල අඩවි ඇගේ ජය සමරමින් ප්‍රකාශ කළේ ඇය චීන අභිමානයේ ප්‍රභවයක් ලෙසය. ඇය චීනයේ ගිෂුවෝ ප්‍රාන්තයේ තුජිලා (Tujila) ගෝත්‍රය නියෝජනය කරන තරුණියයකි. ඒ නිසාම ගිෂුවෝ ප්‍රාන්තයේ ජනතාව ඇය ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයකිනි. කෙසේ නමුත් තමාගේ වෘත්තීය පසුබිම අනුව මාධ්‍යයට අදහස් දැක්වීම ඇය ප්‍රතික්ෂේප කර ඇතැයි ඕවෝකායි ගිෂුවෝ නොට් මාධ්‍ය ජාලය ප්‍රකාශ කර තිබේ. චීනයේ මෙවර සඳ තරණ මෙහෙයුම චැන්ගී ලෙස නම්කර ඇත්තේ සඳට අධිපති චීන දෙව්දුව සිහි කිරීම සඳහාය. චැන්ගී-5 මෙහෙයුම මගින් ගෙන එන පාෂාණ හා පාංශු සාම්පල මගින් සඳේ ප්‍රභවය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට අදහස් කෙරේ. මෙම කාර්යය සාර්ථක වුවහොත් වසර හතළිහකට පසු සඳේ භූ සාම්පල පෘථිවියට රැගෙන ආ මුල් වතාව එය වනු ඇත. එසේම එවන් දස්කමක් කළ තුන්වැනි රට බවටද චීනය ඉතිහාසගත වේ. මාධ්‍යය විසින් මෙය ‘අභ්‍යවකාශ සිහිනය’ ලෙස හඳුන්වා ඇත. ‘‘මෙය ජාතිය ව්‍යාප්ත වීමේ තවත් එක් පියවරක්’’ යැයි චීන ජනාධිපති ෂී ජින් පින් පවසයි. චැන්ගී වැඩසටහනත් සමග චීනය අභ්‍යවකාශයේ සුපිරි බලවතකු බවට පත්වෙමින් සිටී. දිගින් දිගටම වර්ධනය වන සිය අධි තාක්ෂණික බලය ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ මෙවලමක් ලෙසද චීනය විසින් මෙම මෙහෙයුම යොදාගෙන තිබේ. ‘‘සඳ ගවේෂණය යනු කිසියම් ජාතියක බලය ප්‍රදර්ශනය කළ හැකි වේදිකාවක්.’’ 2006 වසරේ චීනයේ ප්‍රවීණ විද්‍යාඥයකු වන මහාචාර්ය බයුවාන් සියුවාන් පවසා තිබේ. පසුගිය වසරේදී චීනය සාර්ථක ලෙස සඳේ දුරස්ථ ප්‍රදේශයට අභ්‍යවකාශ රොබෝ යානයක් ගොඩබැස්වීය. ඉදිරි දශක කිහිපය තුළදී සඳ ආශ්‍රිතව අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් අඟහරු වෙත මිනිසුන් යැවීමටත් චීනය සැලසුම් කරමින් සිටින්නීය. මෙම ව්‍යාපෘතිය චැන්ගී ලෙස නම් කිරීම පිටුපසද කතාවක් තිබේ. චීනයේ සඳට අධිපති දේවතාවිය චැන්ගීය. චැන්ගී වරෙක අමරණීය පානයක් බීවාය. එම පානය හේතුවෙන් සිරුර සැහැල්ලු වී චැන්ගී ආකාශයට ඇදී ගියාය. සඳට අධිපති චීන දෙවඟන චැන්ගී වූයේ එසේය. සෑම වසරකම චීනයේ හේමන්ත ඍතුව මැද දී චන්ද්‍ර උත්සවය පැවැත්වේ. චීන ජනතාව සඳ ගැන කතා කරන විට චැන්ගී පුරාවෘත්තය සිහිවීම නොවැළැක්විය හැක්කකි. මේ නිසාම සඳ ගවේෂණ ව්‍යාපෘතිය සඳහා ප්‍රබල කාන්තා චරිතයක සහභාගිත්වය වැදගත් වූයේය. ෂෝයූ ගේ භූමිකාව කරලියට පැමිණියේ එවන් පසුබිමක් යටතේය. මේ වනවිට චීනය විසින් විවිධ ක්ෂේත්‍රයන්හි කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමට ඉඩ ප්‍රස්ථා විවර කර තිබේ. එහි ඉහළම විධායකය අත්‍යන්තයෙන්ම පුරුෂාධිපත්‍යයට ලක්වී ඇති නමුත් දිගින් දිගටම උත්සාහ කරන ලෙස සමහර මාධ්‍ය කාන්තාවන්ට ඇරයුම් කරයි. ඔවුන් ඒ සඳහා උදාහරණ ලෙස දක්වන්නේ වෛද්‍ය විද්‍යාඥවරියක වන චෙන් වෙයී; විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින්; UFC තරගකාරියක වන ෂැන් බෙයිලී ආදීන්ය. කෙසේ වුවත් තවමත් චීනයේ කාන්තා සහභාගීත්වය අඩු මට්ටමක පවතී. බොහෝ ක්ෂේත්‍රවල ඉහළ නිලධාරීන් පිරිමින් වෙති. මේ වනවිට ෂැන්ගී-5 යානයට අනුබද්ධ චන්ද්‍ර යානය මගින් සඳේ පාෂාණ හා පාංශු සාම්පල ලබාගැනීම සාර්ථකව ආරම්භ කර තිබේ. ඒ සමග අදාළ මෙහෙයුමේ ඡායාරූප පෘථිවිය වෙත එවීමටද එය කටයුතු කර තිබේ. සඳ යානය ගොඩබැස්වීමේ ඉලක්කය වූයේ Oceanus Procellarum නම ප්‍රදේශයේ Mons Rumker කොටසයි. මෙය කම්හල් සංකීර්ණයක් ලෙස පිළිගැනේ. මීළඟ දින කිහිපය තුළ මෙහෙයුමේ ඉදිරි කටයුතු සඳහා ගත කරනු ඇත. ඒ අනුව ආශ්‍රිත ප්‍රදේශයේ පාංශු හා පාෂාණ සාම්පල ලබාගැනීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය කරන උපකරණ යානයට සම්බන්ධ කර තිබිණි. කැමරා, රේඩාර් පද්ධති, විදුම් උපකරණයක්, හැන්දක්, ස්පෙක්ටො මීටරයක් ඊට අයත්ය. මෙහිදී පෘථිවියට එවීමට අදහස් කරන සාම්පලවල ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකකි. පස් රැස්කර ගැනීමෙන් අනතුරුව කක්ෂීය යානයක් යොදාගෙන ඒවා පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතය. අවසන් වතාවට සඳේ පෘෂ්ටයෙන් පස් සාම්පල රැගෙන විත් ඇත්තේ මීට වසර හතළිස් හතරකට පෙරය. ඒ සෝවියට් දේශයට (වර්තමාන රුසියාව) අයත් ලුනා-24 යානය මගිනි. නමුත් එහිදී රැගෙන ආවේ ග්‍රෑම් දෙසීයක පමණ ස්කන්ධයකින් යුත් පස් සාම්පලයකි. කෙසේ වෙතත් අවසානයේදී චීනා සඳ ද ජය ගත්තේය. පවතින කොරෝනා තත්ත්වය යටතේ මෙතෙක් බලවත්ව සිටි රටවල බලය දුර්වල වෙමින් පවතී. චීනය සියල්ල ජයගෙන ඉදිරියට ගමන් කරමින් තිබේ. වසන්ත විජේරත්න
 

More News..