brand logo

සන්ධානය නිසා එජාපය දෙදරයි

11 February 2020

අලියා’ ලකුණින් බැහැරව වෙනත් ලකුණක් භාවිත කරමින් නව සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කර ඇත. ඊයේ (10) රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සවස පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය විසින් ගෙන ආ අලුත් ලකුණක් සහ පක්ෂ නාමයක් යටතේ නව සන්ධානයක් ගොඩනැගිය යුතු යැයි වන යෝජනාව ප්‍රතික්ෂේප කරමිනි. ඊයේ (10) සවස 4.15ට පමණ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ‍යේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම සඳහාය. පසුගිය රැස්වීම් කීපයක්ම වර්ජනය කළ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුට සහාය පළකරන කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික පිරිසද ඊට සහභාගි වූහ. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන ලද සිව්දෙනා අතුරින් සරත් ෆොන්සේකා හා අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරුද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි නමුත් ඔවුන් කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට සහභාගි කරවාගෙන තිබුණෙ නැත. රැස්වීම ආරම්භයේදී සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් නව සලකුණක් සහ නව පක්ෂ නාමයක් යටතේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් ගොඩනැගිය යුතු බවට වන යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදී ඊට විරෝධය පළකර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ නව සන්ධානයක් ගොඩනැගිය යුත්තේ ‘අලියා’ ලකුණ යටතේ පමණක් බවය. සජිත් ප්‍රේමදාස පාර්ශවය ඊට දැඩි විරෝධයක් පළකර ඇති නමුත් ඔවුන්ගේ යෝජනාවට අනුමැතිය ලබාදීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතර සාමාජිකත්වය ප්‍රතික්ෂේප කර ඇත. එම තත්ත්වය හමුවේ එජාප නියෝජ්‍ය නායකයා රැස්වීම අතරමැද ඉන් ඉවත්ව පක්ෂ මූලස්ථානයෙන් පිටව ගියේය. අනතුරුව සිරිකොතින් පිටතට පැමිණි යෝජිත නව සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පත්කළ රංජිත් මද්දුබණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ නව සලකුණක් යටතේ සන්ධානයක් බිහිකිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය නොලැබුණ බවයි. එහිදී අදහස් පළකළ අදාළ රැස්වීමට සහභාගි නොවූ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා අවධාරණය කරන ලද්දේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය නොලැබුණත් නව සලකුණක් යටතේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම නව සන්ධානයක් නුදුරු අනාගතයේදීම බිහිකරන බවයි. කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව අවසානයේ පිටතට පැමිණි සාමාජිකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ නව සන්ධානයක් බිහිකිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි. එහෙත් එම සන්ධානය අනිවාර්යයෙන්ම ‘අලියා’ ලකුණ යටතේ නිර්මාණය විය යුතු බව කෘත්‍යාධිකාරි මණ්ඩලය අවධාරණය කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මේ සතියේදී නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙන බවද කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.   නයන තරංග ගමගේ
 

More News..