brand logo

සනත් ගුණතිලක කියන්නේ මගේ සිහින කුමාරයෙක්

19 April 2021

මෝස්‌තර නිරූපිකාවක් විදියට කලාවට පිවිසි පියුමි ශ්‍රිනායක මේ දිනවල නම් වැඩියෙන් දකින්න ලැබෙන්නේ පුංචි තිරයේ නිර්මාණ තුළින්. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන්නට පියුමි වාසනාවන්ත වුණා. ඉතින් පියුමිගේ මේ දිනවල කලා කටයුතු ගැන දැන ගන්නත් එක්කම පිනිපලසේ අපි පියුමිට කතා කළා. පියුමි කොහොමද මේ දිනවල කලා කටයුතු මේ දවස් වල අහස්මාලිගා සහ නීල පබළු නාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව නාලක විතානගේ මහතාගේ අක්වැසි නාට්‍යයේ රූපගත කිරීම් පටන් අරගෙන කරගෙන යනවා. එහි ප්‍රධාන චරිතය කරන්නේ. තව සංදේශ් බණ්ඩාර අලුතින් අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයක් වන පිනොකියෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය භාර අරගෙන ඉන්නවා. දැන් මෝස්‌තර නිරූපිකාවක් විදියට කටයුතු කරන්නේ නැද්ද? නැහැ. දැන් ලංකාවේ මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රය නැත්තටම නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තට පොඩ්ඩක්වත් යන්න කැමති නැහැ. දැන් රංගනය පැත්තෙන් විතරයි කටයුතු කරන්නේ. රඟපාන්න පටන් අරන් කොච්චර කාලයක් ද? දැන් මොකද හිතෙන්නේ මේ වෙද්දී වසර දෙකක් ඉවරයි. මේ ගෙවෙන්නේ රංගනයට ඇවිත් තුන්වෙනි වසර. ඇත්තටම මට සතුටු විය හැකි නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා මේ කෙටි කාලය තුළ. මම පෙර සුදානමක් ඇතිව මේ ගමන ආව කෙනෙක්. ඒ නිසා මට ඕන චරිතයක් බය නැතිව භාර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මම රංගනය ගැන පොඩ්ඩක් හරි හදාරලා තියෙන නිසා. තව මටත් ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම කියන්න කනගාටුවක් තියෙනවා අද ටික් ටෝක් එකක් කරලා හරි රියලිටි තරගයකට සහභාගි වුණොත් හරි හෙට ප්‍රධාන චරිතය ගන්න පුළුවන් වෙලා තියෙනවා. පියුමි රංගනය හැදෑරුවේ කා යටතේද? අනෝජා වීරසිංහ මහත්මිය, සුදත් සමරකෝන් සර් සහ අතුල ජයසිංහ සර් යටතේ. තවමත් රංගනය ගැන මම දවසින් දවස ඉගෙන ගන්නවා. ගොඩක්ම ප්‍රතිචාර ලැබුණු නිර්මාණය මොකක් ද? දෙරණ නාළිකාවේ විකාශය වුණු රාවණා ටෙලි නාට්‍යයට. ඒක  ගොඩක් වෙනස් චරිතයක් නිසා හොඳ ප්‍රතිචාර ලැබුණා. මම බලන් ඉන්නේ සංදේශ්ගේ අලුත් නාට්‍ය පටන් ගන්නකම්. මොකද පිනොකියෝ කියන්නේ වෙනස්ම කලා වැඩක් වෙයි. මට එහි ලැබිලා තියෙන්නෙත් වෙනස්ම චරිතයක්. ඒ නිසා ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. මෙතෙක් නොලැබුණු පියුමි ආසාවෙන් ඉන්න චරිතය මොකක් ද? ගොඩක්ම මම දායක වෙලා තියෙන්නේ වාණිජමය නිර්මාණවලට. නමුත් මම ආසයි මෙගා නොවන කලාත්මක ධාරාවේ නිර්මාණයකට දායක වෙන්න. විශේෂයෙන්ම ගැමි චරිතයක් කරන්න. ඉදිරියේදී එවැනි චරිතයක් ලැබුණොත් උපරිමයෙන්ම මම කරන්න සුදානම්. සිනමාවේ දායකත්වය කොහොමද? සනත් ගුණතිලක මහතාගේ "ගැහැනු" කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම රඟපානවා. ඒ චිත්‍රපටය පෙන්වන්න සියල්ල සුදානම් වෙලා ඉන්නකොට තමා කොරෝනා ඇවිත් රට ලොක්ඩවුන් වුණේ. ඒ නිසා තව ටික කාලයක් යයි. තව පිටපතක් ලැබුණා අතුල ජයසිංහ අයියාගේ. ඒ නිර්මාණයත් නුදුරේම පටන් ගනීවි. කොහොමද  "ගැහැණු"  සිනමා පටයේ අත්දැකීම සනත් ගුණතිලක කියන්නේ මගේ සිහින කුමාරයෙක්. මම ඉස්කෝලේ යන කාලේ කවදාවත් හිතුවේ නැහැ ඒවගේ දැවැන්ත පුද්ගලයෙක් එක්ක සිනමාපටයක ප්‍රධාන චරිතයක් ලැබෙයි කියලා. ඒක ඇත්තටම දෙවියන් දුන් තෑග්ගක්. පියුමි දැන් ගෙයක් හදනවා නේද? කදානේ ගොඩක් කල් ගත්ත ඉඩමක තාම ගේ හදාගෙන යනවා. දැන් මුළු ලංකාවම දන්නවා ගෙයක් හදනවා කියන එක. මගේ අම්මයි තාත්තයි කියන දෙයක් තමා දියුණු වෙන්න කියන එක. ඒ අයගේ උදව් ඇතිව තමා ගේ හදන්නේ. මට පුළුවන් වෙලාවට මම අත්උදව් හරි දෙනවා. ඒක කරන්නේ මම හරි සතුටින්. පියුමිගේ පවුලේ කලා පසුබිමක් තියෙනවද? මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම හිතන්නේ මගේ පෙර පිනකට ලැබුණු දෙයක් කියලා. මම තනියම මගේම උත්සාහයෙන් ආව ගමනක්. මුලින්ම මට කතා කරන්නේ සුධීර ද සිල්වා අයියා. ඒ මම රංගනය ගැන හදාරන කාලේ. සුසිල ප්‍රඩක්ෂන් එකේ තිර පරීක්ෂණයකට එන්න කියලා. ඒ අරුමවන්ති කියන නාට්‍යයට. ඊට වසරකට පස්සේ ජනක සම්පත් සහ ඉන්දික අයියා "සඳපිණි වැස්ස" නාට්‍යට කතා කළා. එතැනින් පටන් ගත් ගමන තමා මේ. පියුමිගේ බලාපොරොත්තුව ජනප්‍රිය නිළිය වෙන්නද දක්ෂතම නිළිය වෙන්නද? ජනප්‍රිය නිළිය සම්මානය ගන්න මම කැමැති නැහැ. මොකද මට වුණත් යාළුවන්ට කියලා SMS කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් තරගයක් එතන තියෙන්නේ.  නමුත් දක්ෂතම නිළිය සහ නැගී එන නිළිය අතරට යන්න කැමතියි. මට ඒක තවම පේන තෙක් මානයක නැහැ. නමුත් මම ඒකට  උනන්දු වෙනවා. වේදිකාවට ආරාධනා ලැබිලා තියෙනවද? නිතරම මම වේදිකා නාට්‍ය බලන්න යන කෙනෙක්. තවම මට වේදිකාවට ආරාධනා ලැබිලා නැහැ. මම කැමැත්තෙන් ඉන්නවා වේදිකා නිර්මාණයකට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ලබා ගන්න. අනාගත බලාපොරොත්තු මොනවද? හැම ගැහැණියකගේම බලාපොරොත්තුව ජීවිතේ විවිධ කාලපරාසයන් වල ඒ ඒ අත්දැකීම් එක්ක ජීවිතය ඉස්සරහට යන එක. මටත් ඒ දේවල් පොදුයි. ඉස්සරහට අම්මා කෙනෙක් වෙන්න ඕනේ, පවුලට හොඳ ගැහැණියක් වෙන්න ඕනේ. ඒ වගේම සමාජයට වැඩදායි පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම මම ආසයි දුප්පත් අයට මට හැකි විදියට උදව් කරන්න. ඒ වගේම මම දැනටත් අසරණ සත්තු ගෙනත් හදනවා. ඒ දේවල් වලටත් වැඩි කාලයක් දෙන්න හිතාගෙන ඉන්නවා. දේශපාලනයටත් එයි ද? අම්මෝ නැහැ. මම දන්නෙම නැති දේ සහ අකැමැතිම පැත්තක් දේශපාලනය.   අනුෂා රණසිංහ ඡායාරූප - හසිත නිලුපුල්
 

More News..