brand logo

සනත් අයියා කිව්වා තනි කකුලෙන් හරි ෆයිනල් එක ගහමු කියලා

28 March 2021

මේ දවස්වල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වෙනවා. ඔවුන් එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි වලින් අන්ත පරාජයක් ලැබූ නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් නම් හිටියේ එතරම් හිත හොඳකින් නෙමෙයි. ඒ විදිහට කනස්සල්ලෙන් සිටි ප්‍රේක්ෂකයන්ගේ දුක තුනී කරමින් යම් ජීවයක් ලබා දීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි වුණා. සනත් ජයසූරියගේ පුල් පහර, තිලකරත්න ඩිල්ශාන්ගේ ඩිල්ස්කූප් එක, නුවන් කුලසේකරගේ ඉන්ස්වින්ග් පන්දුව, රංගන හේරත්ගේ දඟ පන්දු ‘රංගනය’ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාව අමුතුම තැනකට ගෙන යන්න සමත් වුණා. කොහොමින් කොහොම හරි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අනුශූරයෝ වුණා. තරගාවලියේ වැඩිම ලකුණු සහ කඩුලු ලාභියා වූ තිලකරත්න ඩිල්ශාන් තරගාවලියේ වීරයා වුණා. ඩිල්ශාන් කෙතරම් කැපවීමකින් මේ තරගය ක්‍රීඩා කළාද යැයි කියනවානම් කලවා ප්‍රදේශයේ අභ්‍යන්තර ලේ වහනයක් නිසා ලංකාවේ නිරෝධායනයේ පසුවන අවස්ථාවේ එම්.ආර්.අයි. පරීක්ෂණයකට පවා ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. ඒ විස්තර ගැන අහන්න ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන්ට අපි කතා කළා. ලෙජන්ඩ්ස්ලා නිසා ආයෙත් ලංකාවේ ක්‍රිකට් පිබිදීමක් ඇතිවෙලා කිව්වොත්? ක්‍රිකට්වලින් තරමක් ඈත් වෙලා හිටිය අය මේ තරගාවලියත් එක්ක ආයෙත් ලංකාවේ ක්‍රිකට් එක්ක එක්වුණා කියලා දැනෙනවා. කණ්ඩායමක් විදිහට ආයෙත් රට නියෝජනය කිරීමට ලැබීම ඇත්තටම අපි හැමෝටම විශාල සතුටක්. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තායින් පසුව මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන යමක් කියන්න ඇති? ජාත්‍යන්තර පිටියෙන් සමු අරන් හිටිය සෑම ක්‍රීඩකයෙක්ටම මේක ලොකු අවස්ථාවක් වුණා. තමන් වඩාත් ආදරය කරන ක්‍රීඩකයන් නැවතත් සජීවීව ක්‍රීඩා කරනවා බලන්න ලැබීම ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙනුත් ලැබුණු අවස්ථාවක් කියලා මම හිතනවා. සචින්, ලාරා, ජොන්ටි විශේෂයෙන් සනත් ජයසූරිය ක්‍රීඩා කරනවා බලන්න ආසාවෙන් හිටිය ප්‍රේක්ෂකයෝ හිටියා. ප්‍රේක්ෂකයෝ තරගාවලිය ගැන ආශ්වාදයක් ලැබුවා වාගේම අපිටත් ලොකු දෙයක් එක් වුණා. ජොන්ටි, ලාරා, සචින් මොකද කිව්වේ? මේක තරගාවලියක් වුණත් හරි සුහදත්වයෙන් පැවැත්වුණු තරගාවලියක්. නමුත් තරගකාරිත්වයේ කිසිම වෙනසක් තිබුණේ නැහැ කියලා කියන්න ඕනේ. ඔවුන් හැමෝම නැවත ක්‍රීඩා කිරීමට හැකි වීම ගැන ඉතාමත් සතුටින් කතා කළා. කවර් පොයින්ට් එකේ ෆීල්ඩ් කරන ක්‍රීඩකයන් අතුරින් ජොන්ටි කිව්වා මමත් ඔහුට සමානවම එහි ෆීල්ඩ් කරනවා කියලා. ඒක මට ලොකු භාග්‍යයක්. ජොන්ටි සහ ලාරා මට ජර්සි දෙකක් දුන්නා මතක සැමරුම් හැටියට. අපි දැක්කා පිත්තෙන් දස්කම් දක්වනවා, පන්දු රකිනවා, ඕනි වුණාම පන්දු යවලා කණ්ඩායමට අවශ්‍ය දේ කරලා දෙනවා. එහෙම අභියෝග භාරගන්න හුරු වුණේ? පොඩි ගමකින් ආපු මම අද මේ තත්ත්වේ ඉන්නේ ක්‍රිකට් නිසා. මට ඒක ඇඟෙන්ම එන දෙයක්. රට වෙනුවෙන් මට ඕනේ හැම වෙලේම දිනන්න. තරගය වෙලාවේ කවුරු හරි අතින් වැරැද්දක් වුණොත් මට හරියට කේන්ති යනවා. ඒ වගේමයි මම ඒ වෙලාවෙම කියන්න ඕන දේ කියනවා. මොකද තරගයෙන් පස්සේ කියන්න ඕන දේවල් කියලා වැඩක් නැහැ. කණ්ඩායමේ සාමාජිකයන් ඒක දන්නවා. ඒ හැමදේම තරගය පැවැත්වෙන වෙලාවට විතරයි. සනත් ජයසූරිය කණ්ඩායමට එකතු වෙන්නේ කොහොමද? සනත් අයියා තමයි මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළවෙනි නායකයා. මම සනත් අයියගෙන් ඇහුවා ටීම් එකේ සෙල්ලම් කරමුද කියලා. අහපු ගමන් දෙපාරක් හිතන්නේ නැතිව එයා කැමති වුණා. මම හිතන්නේ සනත් අයියා සතියකටත් වඩා අඩු කාලයක් පුහුණුවීම් කරලා තමයි කණ්ඩායමට එක් වුණේ. සනත්ගේ පැමිණීම කණ්ඩායමට කොයි වගේද බලපෑවේ. සනත් අයියා කොයි වෙලාවකවත් පරාද වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. අන්තිම තරගය වෙද්දි ඉන්ජරියක් තිබුණා. එතකොට එයා කිව්වේ තනි කකුලෙන් හරි අපි මේක කොහොමහරි ගහන්න ඕනේ කියලා. ඇත්තටම සනත් අයියා කණ්ඩායමට එක්වීම නායකයා විදිහට මට විශාල ශක්තියක් වුණා. නැවතත් සනත් එක්ක ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පැමිණීමට ලැබීම? සනත් අයියා එක්ක ආ​ෙයත් ඕපන් කරන්න ලැබුණු එක මාර දෙයක්. ඒක මාර අත්දැකීමක්. වසර ගණනාවකට පසුව වුණත් සනත් අයියගේ ඒ පාරවල් ඒ විදිහටම තිබුණා. ඔහුගේ ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකයන්ව නැවතත් අතීතයට ගෙන යන්න ඇති අනිවාර්යයෙන්ම. ඩිල්ෂාන්ටත් ආබාධයක් තිබුණා නේද? කාලයකට පසුව ක්‍රීඩා කරන නිසා අපි ගොඩක් අයට ආබාධ ආවා. මගෙත් කලවා ප්‍රදේශයේ ආබාධයක් තිබුණා. ළඟ ළඟ තරග තිබුණු නිසා වේදනා නාශකවල පිහිටෙන් තමයි ක්‍රීඩා කළේ. 19 වැනිදා සෙමි ෆයිනල් එක ක්‍රීඩා කළෙත් වේදනා නාශක බෙහෙත් බීලා. සෙමි ෆයිනල් එකෙන් පස්සේ ආබාධය තරමක් වැඩි වුණා. ෆයිනල් එක දවසේ ඇවිදින්නත් අමාරු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන ෆයිනල් එකට ගියා. කොහොම වුණත් මේ ආබාධය සම්පූර්ණයෙන් සුව වෙන්න තව මාසයක් විතර කාලයක් විවේකයෙන් ඉන්න වෙයි කියලා වෛද්‍යවරු කිව්වා. දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයක් පවත්වන්න යනවා කියලා කතාවක් යනවා? කොවිඩ් එකට අරමුදලක් වෙනුවෙන් තරගය පවත්වන්න යනවා කියලා ආරංචියි. ඒක අපේ කණ්ඩායමට වැදගත්නම් අපේ දායකත්වය අනිවාර්යයෙන් අපි දෙනවා. ඉදිරියටත් රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වෙනවා? මීළග රෝඩ් සේෆ්ටි තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනවා. මෙවර තරගාවලියට අපි හැමෝම සහභාගි වුණේ සති දෙකකටත් අඩු කාලයක් පුහුණුවීම් කරමින්. මීළග තරගාවලියේදී අපි අඩුම මාස දෙක තුනක්වත් ප්‍රැක්ටිස් කරලා තමයි යන්න හිතාගෙන ඉන්නේ. මේ ටීම් එකද ඉදිරියටත් අරන් යන්න හිතාගෙන ඉන්නේ? වෙනස්කම් කිහිපයක් වෙන්න ඉඩ තියෙනවා. මේ ටීම් එකේ 10ක්වත් අඩුම තරමේ ඊළග තරගාවලියට අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි. මේ වෙලාවේ කියන්න ඕනේ අපි හැමෝම එක පවුලක් වගේ කටයුතු කළා. මැච් එකේ වෙලාවට මැච් එකේ හිටියා. හවසට අපි උයාගෙන එකට කෑවා. ක්‍රීඩකයෙක්ට ආබාධයක් වුණාම තවත් ක්‍රීඩකයෙක් සාත්තු කළා. හැමෝම එකා වගේ හිටිය නිසා මේ තත්ත්වයට එන්න ලැබුණා. එල්.පී.එල්. තරගාවලියෙ කණ්ඩායමකින් අවස්ථාවක් ලැබුණොත්? අනිවාර්යයෙන් ක්‍රීඩා කරනවා. මම දැක්කා එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරපු අයව. මට තව අවුරුදු දෙකක් තුනක් ක්‍රීඩා කරන්න පුලුවන්. මට ෆිට්නස් තියෙනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත් මගේ අත්දැකීම් ක්‍රීඩකයන් එක්ක හුවමාරුකර ගන්නත් මට පුළුවන්. මම ඒ බව ලෙජන්ඩ්ස් තරගාවලියෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. කොච්චර කාලෙකින්ද මේ ලංකාවට ආවේ? අවුරුද්දකට විතර පස්සේ ලංකාවට ආවේ. මෙහෙම්මම නැවත ඔස්ට්‍රේලියාවට යනවා. ඔස්ට්‍රේලියාවට යන්නේ? ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් කටයුතු කරන කාලේ අපිට සෑහෙන පවුල සමග ගත කරන්න තියෙන කාලය අඩු වුණා. ලංකාවේ හිටියොත් විවිධ වැඩ නිසා නැවතත් කාර්යබහුල වෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාවට ආවා. ටිකක් කාලයක් ඉන්නවා. මගේ රට වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මගෙන් දෙයක් වෙන්න තියෙනවානම් මම ඒ ඕනම අවස්ථාවක ඉන්නවා. ඩිල්ශාන්ට ඔස්ට්‍රේලියාවේ තියෙන තැන ගැන කිව්වොත්? ඔස්ට්‍රේලියාවේ ක්ලබ් හතරක් පහක් මේ වන විටත් මට ක්‍රීඩා කරන්න කතා කරලා තියෙනවා. ඔවුන්ට මගේ අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා මට වෙලාවක් තියෙන හැටියට හරි ඇවිල්ලා සෙල්ලම් කරන්න කියලා ඔවුන් මට කියලා තියෙනවා. ඒ අතරින් සුදුසුම ක්ලබ් එකට මම ක්‍රීඩා කරයි. ඒ වගේම විවිධ රටවල තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මාත් එක්ක පුහුණුවීම් කරන්න ආවා. විශේෂයෙන්ම ඔවුන් ආවේ මගේ අත්දැකීම් එක්ක ඔවුන්ගේ ක්‍රිකට්වලින් ඉදිරියට යන්න. ඩිල්ශාන්ගේ දුව ලිමංසා තිලකරත්නත් ක්‍රිකට් ගහනවා? දූ ක්‍රිකට් ගහයි කියලා හිතුවේ නැහැ. නමුත් එයාගේ පාසලෙන් එයාව ක්‍රිකට්වලට යොමු කරලා තිබුණා. එයාත් ක්‍රිකට්වලට ආසයි. මමත් එයා එක්ක පුහුණුවීම් කරා. ඊට පස්සේ එයාගේ ක්‍රීඩා විලාශයේ තියෙන අඩුපාඩු කිහිපයක් මමත් හැදුවා. දැන් එයා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරගෙන යනවා. ඇය ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට්වලින් වාර්තාවකුත් පිහිටෙව්වා නේද? ඔස්ට්‍රේලියාවේ පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ඇය. සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවෙන්ම ඇයට කඩුල්ලක් දවාගන්නත් හැකි වුණා. ඒ කියන්නේ අනාගතයේදී ඇයව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකින්න ලැබෙයි? අපිට දෙමවුපියන් විදිහට එයාට මග පෙන්වන්න පුළුවන්. අනාගතයේ කුමක්ද කරන්නේ කියලා එයා තීරණය කරයි. අපි එයාට කවදාවත් කිසිම දෙයකට බල කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ගැන යමක් කිව්වොත්? අපේ ටීම් එකේ දක්ෂ ක්‍රීඩකයන්ගේ අඩුවක් නැහැ. නමුත් ඔවුන්ගෙන් හරිහැටි ප්‍රයෝජනය ගන්නෙ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. කල්බ් ක්‍රිකට් පාසල් ක්‍රිකට් පහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ක්‍රීඩකයන් 200ක් පමණ දැන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා තියෙනවා. ලංකාවේ හරියට ගෙවීම් කරානම් දක්ෂ ක්‍රීඩකයන් මෙහෙ එන්නේ නැහැ. කෝටි ගණන් ගෙවලා පුහුණුකරුවො ගේන්නත් අවශ්‍ය නෑ. අපේ හොඳ පුහුණුකරුවෝ ඉන්නවා. අපේ රටේ ක්‍රීඩකයන්ට සිංහලෙන් කියලා දෙන්න ඕනේ ඔවුන්ගේ කාර්යභාරය ගැන. අනික අපේ රටේ පුහුණුකරුවකුට තියෙන කැක්කුම පිට රට පුහුණුකරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ගයාශාන් විතානආරච්චි  
 

More News..