brand logo

සනත්ට ‘දෙකක් ඇන්න’ අයි.සී.සී යේ තීන්දුව

02 March 2019

‘මම තරඟ පාවාදීම සම්බන්ධයෙන් කිසිම වරදක් කරලා නැහැ. ඒත් මම ක්‍රීඩාවට ඇති ආදරයේ නාමයෙන් මේ තීන්දුව භාර ගන්නවා’ යි කියමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සී ය විසින් තමන්ට පැන වූ තහනම භාරගැනීමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේම සුවිශේෂී චරිතයක් බවට පත් වූ සනත් ජයසූරිය තීන්දු කළේය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන වගන්ති දෙකක් කඩ කළ බවට වන වරදට ජයසූරියට වසර දෙකක තහනමක් පැනවෙන අතර එකී දෙවසර තුළ ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, ක්‍රිකට් සම්බන්ධ තනතුරක් දැරීම හෝ ක්‍රිකට් හා සම්බන්ධ නිල උත්සවයන්ට සහභාගී වීම ආදි සියලු කටයුතු ජයසූරියට තහනම් වනු ඇත. අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සහාය නොදැක්වීම සහ පැවැති පරීක්ෂණයන් මගහැර යාම හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එල්ල වී ඇති එක් චෝදනාවකි. ඔහුට එල්ලවන දෙවැනි චෝදනාව වන්නේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට ඉඩ නොදීම, තොරතුරු සැඟවීම, විනාශ කිරීම ආදියයි. ඔහු මෙරට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙසින් සේවය කළ වසර 2015 අග භාගයේ සිට 2017 අගෝස්තු දක්වා වූ වකවානුවේදී සිම්බාබ්වේ සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අයි.සී.සී. ය මගින් පරීක්ෂණයක් සිදු කිරීම් අරඹා තිබිණි. එකී පරීක්ෂණයන් සිදුවෙන අතරවාරයේ හෙවත් 2017 වසරේ සිටම ජයසූරිය මෙම පරීක්‍ෂණ සඳහා ඔහුගෙන් අපේක්‍ෂා කළ සහාය ලබා නොදී මගහැර සිටින බවට ඉකුත් ඔක්තෝබර් මාසයේදී අයි.සී.සී. ය විසින් මුල් වරට ප්‍රසිද්ධියේ දන්වා සිටියේය. එතැන් සිට දින 14ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ජයසූරියට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අයි.සී.සී. ය වැඩිදුරටත් දන්වා සිටියේය. ජයසූරිය මෙකී කාල සීමාවේදී සිය නීතිඥයෙක් මාර්ගයෙන් අයි.සී.සී. යට කරුණු දක්වා තිබුණත්, පසුව ඔහු විසින්ම මෙම කරුණු සම්බන්ධයෙන් වරද පිළිගැනීම ජාත්‍යන්තර මාධ්‍යන්ගේ පවා කතාබහට ලක්වන කාරණයක් වී තිබේ. මෙම චෝදනා පිළිගැනීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය දක්වා තිබුණේ, තමන්ට එල්ල වී ඇත්තේ පැහැදිලිවම තරග පාවාදීම්, තණතිලි වෙනස් කිරීම්, කණ්ඩායමේ තොරතුරු අන්සතු කිරීම හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ චෝදනා නොවන බවයි. තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ, අයි.සී.සී. යේ පරීක්ෂණවලට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් බවට ඔහු පවසයි. ඔහුගේ නිවේදනයට අනුව එම පරීක්‍ෂණ වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලා සිටි සිම්පත සහ ජංගම දුරකථනය වහාම භාරදෙන මෙන් අයි.සී.සී දූෂණ මර්දන නිලධාරීන් විසින් කළ ඉල්ලීම එසැණින් ඉටුකිරීමට තමන්ට නොහැකි වූ බව ඔහු පිළිගෙන තිබේ. එම ඉල්ලීම එසැණින් ඉටු කිරීමට නොහැකි වූයේ මන්දැයි ඔහු විසින් පැහැදිලි හේතුවක් දක්වා නැතත් පුද්ගලික හේතූන් මත එය කලට වේලාවට සිදුකිරීමට නොහැකි වූ බවක් ජයසූරිය සඳහන් කර තිබේ. ඒ අනුව තමන්ට එරෙහිව නැගෙන පළමු චෝදනාව ඔහු විසින් සෘජුව හෝ වක්‍රව පිළිගෙන ඇත. ජයසූරියගේ නිවේදනයෙන් දැක්වෙන පරිදි ඔහු පසුව මේවා භාර දී ඇත. නමුත් එසේ භාරදුන්නේ ඒවායෙහි වූ විමර්ශනයට අදාළ තොරතුරු ඒවායින් සහමුලින්ම මකා දැමීමෙන් අනතුරුව බව අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ මතය වී ඇති බවක් පෙනෙයි. ජයසූරියට අදාළ දෙවැනි චෝදනාව නැගෙන්නේ ඒ අනුව විය හැක. නමුත් ඒ ආකාරයෙන් ඒවායේ තොරතුරු හානි කිරීමක් වැනි දෙයක් තමා විසින් කළ බවක් ජයසූරියගේ ප්‍රකාශය මගින් පිළිගෙන නැත. ඒ වෙනුවට ඔහු පවසා ඇත්තේ, අයි.සී.සී දූෂණ මර්දන ඒකකය විසින් ඉල්ලා සිටි සියලුම තොරතුරු තමා ලබාදී තිබියදී සහ දූෂණයක්, ඔට්ටු දැමීමක් හෝ වෙනත් වැරදි යෙදීමක් පිළිබඳ තමන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැතිව තිබියදී අදාළ වගන්තිය යටතේ තමන්ව වරදකරුවකු බවට පත්කිරීම අවසනාවක් බවයි. ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් සෑම විටම අවංකව සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ බව ඔහු එහි සඳහන් කරයි. මෙම තහනම පැනවීම ඉදිරියේ තමන්ට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව පවසන ජයසූරිය, ඉන් එකක් නම් එම තීන්දුව පිළිගැනීමත්, අනෙක නම් මේ සම්බන්ධයෙන් නැවත මුල සිට පරීක්‍ෂණයක් ඉල්ලා සිටීමයි. එය තමන්ගේ මෙන්ම අයි.සී.සී යේද කාලය, ධනය, ශ්‍රමය ආදී බොහෝ දේ වැයවන්නක් බැවින් 2018 ඔක්තෝබර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙසින් ලැබුණු මෙම තහනම භාරගත් බව ජයසූරිය පවසා තිබේ. එසේම තමන් සිය ක්‍රිකට් ජීවිතය පුරා පවත්වාගෙන පැමිණි ක්‍රීඩාවේ සාරධර්ම තවදුරටත් රැකගන්නා බවත්, තමන් හැමවිටම රට පෙරමුණේ තබා කටයුතු කළ බව ක්‍රිකට්වලට ආදරය කරන මහජනතාව දන්නා කරුණක් බවත් ජයසූරිය සිය නිවේදනයෙන් කියා සිටියි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනුවත්භාවය සහ ඔවුන්ට මැදිහත්විය හැකි ආකාරය කුමක් දැයි වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් අපි විමසුවෙමු. ‘අයි.සී.සී. යේ නිලධාරීන් හා ඩුබායිහිදී සිදු කෙරෙන විශේෂ හමුවේදී තමයි මේ සම්බන්ධයෙන් හරි විස්තරය දැනගන්න පුළුවන්. විමර්ශනයට ලක්වුණු මේ සිද්ධිය සිදුවෙලා දැන් අවුරුදු දෙකක් ගතවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පැත්තෙන් යම් දෙයක් කරන්න පුළුවන්නම්, අනිවාර්යයෙන් අපි දෙවරක් හිතන්නේ නැතිව ඒ දේ කරනවා’ යි ඒ මහතා ඉකුත් 28 දා එම හමුව සඳහා මෙරටින් පිටත් වීමට මත්තෙන් පවසා සිටියේය. එසේම මෙම දඬුවම පැනවීම මගින්, ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ විමර්ශනයන් වෙනුවෙන් ඒ හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව මොනවට පැහැදිලි වන බවට අන්තර්ජාතික දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා පවසා සිටියි. මෙරට ස්ථාපිත අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය විසින් ඉකුත් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව තුළ සිදු වූ දූෂණ වංචා ආදිය සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒ පිළිබඳව පැවසීමට ජනවාරි 31 දා දක්වා සහන කාලයක් ලබා දී තිබිණි. එම සහන කාලයේදී ක්‍රීඩකයින් 11 දෙනෙක් සහ තවත් ක්‍රිකට් සම්බන්ධ පාර්ශ්වයන් කිහිපපලක් ඔවුන් වෙත තොරතුරු සපයා තිබේ. ඒ අතර කාලයේ අයි.සී.සී දූෂණ මර්දන ඒකකය, සනත්ට අමතරව දිල්හාර ලොකුහෙට්ටිගේ සහ නුවන් සොයිසා වැනි හිටපු ක්‍රීඩකයන් වෙතද ඇඟිල්ල දිගුකළේය. ලොකුහෙට්ටිගේට එරෙහිව ගොනුකර තිබුණු චෝදනා අතර, නිවැරදි ප්‍රතිඵලය වෙනස් කිරීම හෝ ඒ වෙනුවෙන් අනුබල දීම හෝ අනිසි බලපෑම් කිරීම, සෘජුවම පාවාදීම්වලට සම්බන්ධවීම හෝ ඉල්ලා සිටීම මෙන්ම හිතාමතා පෙලඹවීම, දූෂණ සම්බන්ධ පරීක්ෂණයන් සිදු කරන නිලධාරීන්ට තොරතුරු වසන් කිරීම සහ ප්‍රමාද කිරීම වැනි කරුණු කාරණා අයි.සී.සී.ය මගින් දක්වා තිබිණි. සොයිසාට එල්ල වූ ප්‍රධාන චෝදනා තුනකි. ඒ, තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කිරීම, තරගයක නීති උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹවීමට ක්‍රියා කිරීම සහ ඒ පිළිබඳව අයි.සී.සී. දූෂණ විරෝධී කමිටුවට දැනුවත් කිරීමට කටයුතු නොකිරීම ආදියයි. මේ සමගින් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් බරපතළ ප්‍රකාශක්ද කළේය. නමුත් මේ දක්වා කරුණු කාරණා සහිතව ඔවුන් විසින් ඔප්පුකර පෙන්වූ තරග පාවාදීමේ අවස්ථාවක් හෝ එවැනි වෙනත් යමක් නම් නැත. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..