brand logo

සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට වසරක සිර දඬුවම්

20 August 2019

2002 වසරේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කළ සහල් නියමිත මිලට වඩා අඩු මිලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා වරදකරු කෙරුණු එම ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (20) වසරක සිර දඬුවමක් නියම කරනු ලැබීය. එම සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 50000/-ක දඩයක් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පනවන ලදී. මෙම දඬුවමට එරෙහිව විත්තිකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 2002 වසරේ ජුලි මස පළ වනදා සහ එම මස විසි වනදා අතර කාලසීමාව තුළ ස.තො.ස ආයතනය මගින් ආනයනය කළ සුදු සහල් නියමිත මිලට වඩා අඩු මිලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු එම ආයතනයේ හිටපු සාමාන්යාධිකාරී විමල් පෙරේරා මහතාට එරෙහිව නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළාය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කරුණු දක්වමින් උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත විත්තිකරු මෙම ක්‍රියාව සිදුකළ බවත් මෙම අපරාධයට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවත් අධිකරණයට දන්වා සිටියේය. විත්තිකරු අදාළ ආයතනයේ උසස් නිලයක් හෙබවූ පුද්ගලයෙකු බැවින් ඔහුට වගකීමකින් යුතුව කටයුතු කිරීමට හැකියාවක් තිබූ බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරු විසින් රජයට පාඩු කරන ද මුදල වන්දියක් වශයෙන් අයකර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විත්තිකරුට සිරදඬුවම් නියම කර තිබෙන බැවින් වන්දියක් අයකර ගැනීම සඳහා අල්ලස් පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කර සිටියාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..