brand logo

සතුටින්ම සමුගන්න ක්‍රීඩකයා මම - malinga

28 July 2019

‘දැන් මට සමුගැනීමට කාලයයි’ කියලා පළමුවෙන්ම හිතුනෙ කවදද? මට ඒ බව දැනුනේ 2015 ලෝක කුසලාන තරගාවලිය අවසන් වුන වෙලාවෙ. ඒත් ඒ වෙනකොට කුමා අයියා (කුමාර් සංගක්කාර) මහේල අයියා, ඩිල්ෂාන් අයියා ඔක්කොම යනකොට මට හැඟීමක් ආවා. මේ වෙලාවේ මමත් ගියොත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් නැතිව කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයො විතරක් ඉතිරිවෙයි කියලා මට හිතුණා. 2015න් පසුව මට අසීරු කාලයක් එන බව දැන දැනත් මම හිතුවා මම සටනේ ඉන්නවා කියලා. ඒ මගේ වාසියකට නෙවෙයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට යම් තැනකදි මාව වුවමනා වෙයි කියලා දැනගෙන හිටපු නිසා. මම එදා ඒ ගත්තු තීරණය හරි කියලා මම අද ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. අපේ රටේ බහුතරයක් ක්‍රීඩකයො සමුගන්නේ යම් වේදනාවක් හෝ කලකිරීමක් සමගින්. නමුත් ඔබ ඒ ඉරණමට ලක්වුණේ නෑ.... ඇත්ත වශයෙන්ම. මේ රටේ සතුටින් ක්‍රිකට්වලින් සමුගත්තු ක්‍රීඩකයෝ අතලොස්ස අතරේ මමත් ඉන්නවා. මම මගේ උපරිම වයස දක්වා උපරිමයෙන් ක්‍රීඩාකළා. මගෙ ශක්තිය හීනවෙලා යනකොට, මට මෙතැනින් එහාට යන්න බැහැ කියලා තේරුම් අරගෙන, රට වෙනුවෙන් අවසන් තරගාවලියෙත් උපරිමය ලබාදීලා සමුගැනීම ප්‍රකාශයට පත්කරන්න මට පුළුවන් වුණා. මම හිතන්නේ මම තරම් සතුටින් සමුගන්න ක්‍රීඩකයෙක් තවත් නැහැ. ඔබ වසර 15ක් පමණ එක්දින පිටියේ රැඳුනා. එක්දින තරග 225ක් ක්‍රීඩාකළා. එක්දින ලෝක කුසලාන අනුශූරතා දෙකක් දිනපු ජයග්‍රාහී යුගයක් වගේම පරාජයන් පිට පරාජයන් ලබපු යුගයකුත් ඔබ අවසන් කාලයේ පසුකළා. ඔබ දුටු මේ යුග පෙරළිය ගැන යමක් කියමු. එදත් අදත් අතර ක්‍රිකට්වල වෙනසක් වෙලා නැහැ. කවදත් ඒ පැත්තෙන් දාන බෝලයට මේ පැත්තෙන් ගහන එකනෙ වෙන්නේ. ඒ මොහොතේ තමන්ගේ හැකියාව මෙහෙයවන විදිහට තමයි සියල්ල තීරණය වෙන්නේ. තෙල් නිධියක් තමන්ගෙ යටින් තිබුණට වැඩක් නැහැ, ඒක එළියට ගන්න ක්‍රමය දන්නෙ නැතිනම්. තමන් ළඟ දක්‍ෂතාවන් කොපමණ තිබුණත් වැඩක් නැහැ කොයි වෙලාවෙ, මොන විදිහටද මේ දක්‍ෂතාව එළියට දාන්නෙ කියන එක තරගයට අනුව තේරුම්ගන්න ඕනේ. ඒ වගේ ක්‍රීඩකයන් ජාත්‍යන්තරයේ ඉහළටම යනවා. මම ගොඩක් වාසනාවන්ත වුණා ඒ වගේ ක්‍රීඩකයො රැසක් එක්ක එකට ක්‍රීඩා කරන්න. පසුකාලයේදි ක්‍රීඩා කරපු අය අදක්‍ෂ නැහැ. නමුත් තමන්ගේ දක්‍ෂතාව එළියට ගන්න අවශ්‍ය කරුණු ටික සම්පූර්ණ වුණු නැති එක තමයි තියෙන්නේ. පසුගිය ලෝක කුසලානෙදි ලංකාවේ ප්‍රතිඵල ගැන කතා කළොත්... අපි ලෝක කුසලානට ගියේ ශ්‍රේණිගතකිරීම්වල 9 වැනි තැන ඉඳිමින්. ඒ කියන්නේ අපි දක්‍ෂ කණ්ඩායම් හැටියට නෙමෙයි ඒකට ගියේ. ඒ වගේම දැන් තියෙන ක්‍රිකට් රටාවේ හැටියට කඩුලු ලබාගැනීමට වඩා ලකුණු ලබාගැනීමයි තීරණාත්මක. මෑත කාලය තුළ තිබුණු හැම තරගයකම වගේ තරගයේ වීරයා වෙන්නේ පිතිකරුවෙක්. ඒ කියන්නේ දැන් හැදෙන්න පිතිකරුවන්ට යෝග්‍ය තරගාවලි. ගෙවුණු ලෝක කුසලානෙ අපි තරග 3යි දිනුවේ. එකක් නුවන් ප්‍රදීප් දිනවලා දුන්නා. එකක මට පුළුවන් වුණා අවශ්‍ය දේ කරලා දෙන්න. අනිත් තරගය ඇන්ජලෝ මැතිව්ස් දිනවලා දුන්නා. නමුත් මේ කාලයේ හැටියට පිතිකරුවන් දැනගන්න වෙනවා තමන්ගේ තරග රටාව සංවිධානය කරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න. මම හිතනවා අපේ කණ්ඩායමේ ඒ දේ මදි කියලා. ඒකට වගකියන්න ඕනේ පුහුණුකරුවොද? ක්‍රීඩා ඇමතිතුමා පහුගිය දවස්වල කියලා තිබුණා ජාතික කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් ඉවත් වෙන්න ඕනෙ කියලා. මම දන්නේ නැහැ ක්‍රීඩා ඇමතිතුමා ඇයි එහෙම කිව්වේ කියලා නම්. ඒත් 2014 අපි පන්දුවාර 20 ලෝක කුසලාන දිනනකොට අපිට හිටියේ ‌පෝල් පාබ්‍රේස් පුහුණුකරුවා අපිත් එක්ක මාස 6ක් වත් පුහුණුවීම් කළේ නැහැ. ඒත් අපි තරග 18කින් 17ක් දිනුවා. මාස තුන හතරකින් ලෝක කුසලානක් දිනන්න පුළුවන් ක්‍රීඩකයන් හදන්න පුහුණුකරුවෙකුට පුළුවන් නම් එය ප්‍රාතිහාර්යයක්. ජාතික කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් පුහුණුකරු කියන්නේ තීරණාත්මක සාධකයක් කියලා කවුරුහරි කියනවා නම් ඒ තර්කය බිඳින්න මට තියෙන උදාහරණය තමයි ඒ. ඔබ කියන්නේ පුහුණුකරුවාගෙන් ක්‍රීඩකයා බැබළෙනවට වඩා ක්‍රීඩකයගෙන් පුහුණුකරුවා බැබළෙනවා කියන එක? ඔව්. පහුගිය කාලය පුරාවට අපේ රටට ආපු පුහුණුකරුවන්ව සුපිරි පුහුණුකරුවන් බවට පත්කළේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් කියන එකයි මගේ නම් හැඟීම.ඒකට ක්‍රීඩකයාගෙ දක්‍ෂතාව 99%ක් දායක වෙනවා. ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලයට එන්න කලින් තමයි ඔහුට උගන්වන්න ඕනේ. ජාත්‍යන්තර තලය කියන්නේ ඉගෙනගන්න තැනක් නෙමෙයි. තමන් ඉගෙනගත්තු දේ භාවිතා කරන තැනක්. එතැනදි වැදගත්ම සාධකය වෙන්නේ ක්‍රීඩකයද නැතිනම් පුහුණුකරුවද කියන එක අපි බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඔබේ සමුගැනීම සිදුවන අවස්ථාවෙදි එය නුවන් කුලසේකරටත් සමුගන්න අවස්ථාවක් කර දෙන්න කියලා ඔබ ඉල්ලා සිටියා. නුවනුයි මමයි එකම කාලෙ කණ්ඩායමට ආවේ. අපි වසර 12ක් 13ක් එක දිගට දෙපැත්තෙන් ක්‍රීඩා කළා. නුවන් කුලසේකර ක්‍රීඩා කරපු විදිහ අනුව තමයි අද ලසිත් මාලිංග කෙනෙක් ඉන්නේ. එයා එකදිගට පන්දුවාර 6ක් විතර දාන කෙනෙක්. එයා එකපැත්තකින් පිතිකරුවා පාලනය කරපු නිසා තමයි මට කඩුලු ගන්න අවස්ථාව උදාවුණේ. 2014 මම පන්දුවාර 20 ලෝක කුසලාන දිනපු කණ්ඩායමේ මම නායකයා වෙනකොට ඒ මගේ උපනායකයා. ඔහු සෙල්ලම් කරපු අවසන් තරගයට පෙර තරගයේ කඩුලු 4ක් දවාගෙන තරගයේ වීරයා වෙනවා. ඒත් තවත් එක තරගයකින් පසුව ඔහුට කණ්ඩායමේ කිසිම අවස්ථාවක් නොලැබී යනවා. ඇත්තෙන්ම මේක අසාධාරණයි. ඒ වගේ ක්‍රීඩකයෙක්ට හොඳ සමූගැනීමේ අවස්ථාවක් ලබාදීම කළ යුතු දෙයක්. ඉන්දියාව අශීස් නේරාට අවුරුදු 38දි විතර ඒ අවස්ථාව ලබාදෙනවා. ඒ තමයි එවැනි ක්‍රීඩකයෙක් වෙනුවෙන් දෙන ඇගයීම. නුවන් වෙනුවෙන් මම ඒ දේ තමයි ඉල්ලුවේ. දැන් ලසිත් වගේම කුලසේකරත් කණ්ඩායමේ නෑ. මේ වේග පන්දු යැවීමේ අඩුව පුරවන්න කව්ද ඉන්නේ? එදා මම ක්‍රීඩා කරද්දි සමහරෙක් කියපු දෙයක් තමයි මම ඉන්න නිසා කණ්ඩායමේ නවකයන්ට අවස්ථාව නැති වෙනවා කියලා. මට දැන් කියන්න තියෙන්නේ ‘ඔන්න මම යනවා. දැන් ඒ අයට අවස්ථාව දෙන්න’ කියලා. එතකොට ඒ අඩුව පුරවන්න තව කෙනෙක්ට අවස්ථාව තියෙයි. මං ගැන එහෙම කියපු අයත් එකතුවෙලා අපි ඒ කියන ක්‍රීඩකයන්ව සොයමු. ඔබේ පන්දු යැවීමේ ඉරියව්ව පොතේ තියන එකක් නෙමයි. ඒ ඉරියව්ව බිහිවුණේ කොහොමද? ඒ ඉරියව්ව පොතේ තියෙන ඉරියව්වක් හැටියට පරිවර්තනය නොවී රැකුනෙ කොහොමද? ඔය කියන පොත ලිව්වේ කව්ද කියලයි මම තවම කල්පනා කරන්නේ. ඒ පොත ලියන කෙනා දකින විදිහ. නමුත් අයි.සී.සී ය පිළිඅරගෙන තියෙනවා මේක තමයි ක්‍රිකට් පොත කියලා. ඒත් මම හිතනවා පන්දු යවන්නෙක් හැටියට ක්‍රිකට් නීතියට අදාළව පන්දු යවනවා නම්, ඒ පන්දු යැවීමේ ඉරියව්ව ඔහුට ආබාධ හටගන්න හේතුවෙන එකක් නොවෙනවා නම්, ඒ ඉරියව්වෙන් විකට් ගන්න පුළුවන් නම්, එතැනින් එහාට ඇක්ෂන් එකේ ප්‍රශ්නයක් නැහැ. මාව විද්‍යාලෝක විදුහලෙන් ගාල්ල මහින්දෙට ගත්තු කීර්ති ධර්මප්‍රිය සර් වගේම එතැනින් එහාට චම්පක රාමනායක සර් ඒ දේ දැක්කා. ඒ දෙන්න දැකපු දෙයට මම සාධාරණයක් කළා. ඔවුන්ටත් ඒ සතුට ඇති. දක්‍ෂතාව කියන්නේ පොතේ තියෙන එකම නෙමෙයි. එක්දින දිවියේ අමතක නොවන තරග... මම දවාගත්තු කඩුලු 335ම මට මතකයි. ඒත් ඔස් ට්‍රේලියාවේ මෙල්බර්න් වල ලකුණු 234ක ඉලක්කයක් බේරාගන්න අන්තිම පන්දුවාර 2දී ප්‍රතිවාදීන්ට ලකුණු 14ක් අවශ්‍ය වුණු වෙලාවේදි වගේම එංගලන්තය සමග ජෝස් බට්ලර් ලකුණු 100ක් ගහලා ඉන්නකොට අවසන් පන්දුවාර 2 දී ලකුණු 17ක ජයග්‍රාහී ඉලක්කයක් තිබුණු අවස්ථවෙදි මමත් නුවන් කුලසේකරත් එකතුවෙලා තරගය ජයගත්තු ඒ අවස්ථා දෙක අමතක වෙන්නෙ නැහැ. ඔබ එක්දින පිටියෙන් සමුගත්තත් පන්දුවාර 20 පිටියේ තවදුරත් රැඳෙනවා? මගෙ බලාපොරොත්තු 2020 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්න. නමුත් එයට පෙර අපට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන්න වෙනවා. ඒ තරගවලට ක්‍රීඩා කරල කොහොම හරි ලංකාවට පන්දුවාර 20 ලෝක කුසලාන අවස්ථාව දිනාදෙන තමයි බලාපොරොත්තුව. ඔබ අනාගතයෙදි ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යනවය කියලා රාවයක් ගියා. ඒවා ගොසිප්. ගොසිප් කියන නියම අර්ථයෙන්ම ගොසිප්. ‘හොඳට නරකට දෙකට කටමය’ කියන කියමන ගැන මොකක්ද මාලිංගගෙ අදහස ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයිලු නේද. අනෙක් කෙනෙක්ගෙ කටින් පිටවෙන දේ ගැන අපි හිතනදේත් එහෙම තමයි. ඔබ ක්‍රීඩකයෙක්, පුවත් මවන්නෙක් විතරක් නෙමෙයි, විලාසිතාත් මවන්නෙක්... ඔව් මට මගේ කැමති විදිහක් තියෙනවා. ඒ තමයි මම ඔබේ මොස්තර විලාසිතා විතරක් නෙමෙයි. ඔබේ පන්දු යැවීමේ ඉරියව්වත් අනුකරණය කරන ක්‍රීඩකයො ඉන්නවා මම කාටවත් එපා කියන්නේ නැහැ. ඒ කාලෙ මමත් කැමති ක්‍රීඩකයො හිටියා. වකාර් යූනිස්, වසීම් අක්‍රම්ගෙ පන්දු යැවීමට පොඩි කාලෙ මම හරි කැමතියි. යෝකර් බෝලයට මගෙ ආසාව ආවෙත් ඒ නිසා. ඒ නිසා කව්රු හරි මගෙ ඉරියව්වට කැමතිනම් උත්සහ කරලා බලන්න. කමක් නැහැ. හැබැයි ඔබට ජාත්‍යන්තරයට යන්න නම් ඔබට ආවේනික ආයුධයක් හදාගන්න. ඒක පුහුණු කරන්න. ප්‍රගුණ කරන්න. ඉන්ද්‍රජිත් සුබසිංහ  
 

More News..